(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

වැල්ලම්පිටිය මීතොටමුල්ල  වඩු ගොඩවත්ත ප්‍රදේශයේ නිවසක  නීති විරෝධීමත්පැන්  වැටලීමකට  ගිය පොලිස් නිලධාරීන් පිරිසකට බල්ලන් ලිහා දමා සපා කෑමට සලස්වා පහරදී තුවාල සිදුකල  සැකකරු වෙඩි තබා මෙල්ල කර අත්අඩංගුවට ගත්  බව වැල්ලම්පිටිය පොලිසිය කියයි.

එම සිද්ධියෙන් තුවාල ලද පොලිස් සැරයන්වරයකු හා සැකකරු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.

නීති විරෝධී මත්පැන් ජාවාරමක් සිදු කරන බවට පොලිසියට ලද තොරතුරකට අනුව වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරීන් මීතොටමුල්ල වඩුගොඩවත්ත ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරීම සඳහා යාමේදී එම ලිපිනයේ පදිංචි සැකකරු පොලිස් නිලධාරීන්ට නිවස තුළට ඇතුල්වීමට ඉඩ නොදී බල්ලා ලියා දමා සපා කෑමට සලස්වා පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදු කර රාජකාරියට බාධා වන අයුරින් හැසිරී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

එම අවස්ථාවේදී පොලිස් සැරයන්වරයා සිය රාජකාරී ගිණි අවියෙන් වෙඩි තැබීමක් සිදුකර ඇති අතර සැකකරුගේ දකුණු පාදයේ යටිපතුලට වෙඩි වැදී තුවාල සිදුවී ඇත.

සැකකරු මේ වන විට පොලිස් ආරක්ෂාව මධ්‍යයේ එම රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි