(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වැට් බද්දක් තිබියදී පිරිවැටුම් බද්දක් නැවත පැනවීම මඟින් ජනතාවට වැඩි බදු බරක් පැටවෙන බව සමගි ජන බලවෙිගයේ කොළඹ දිස්ත්‍රික්  මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.

කෝප් , කෝපා කමිටු පත් කළා නම්  ගල් අඟුරු මිලදී ගැනීම ආදිය සම්බන්ධයෙන් සොයා බලන්න තිබූ බවද ඒ නිසා වහාම ඒ කමිටු පත් කරන්නැයි ද මන්ත්‍රීවරයා කීය.

 මෙම බද්ද ප්‍රතිපත්තියක්,මූලධර්මයක් ලෙස පිළිගන්නට නොහැකි යැයිද ආණ්ඩුවට බදු ආදායම් වැඩිකර ගන්නට මීට වඩා දියුණු ක්‍රම තිබියදී මෙවැනි පිරිවැටුම් බදු පැනවීම මගින් ජනතාව පීඩාවට පත්වීම වළක්වන්නට නොහැකි යැයිද චම්පික රණවක මහතා පැවසීය. 

ගතවූ අවුරුදු දෙක හමාරක කාලය තුළ බිලියන ගණනින් මුදල් අච්චු ගසා තිබෙන අතර හාල්, පොල්, සීනි ආදී හැම දේකම මිල තුන් ගුණයකින් වැඩිවී තිබෙන බවද  භාණ්ඩ මිල ඉහළ යාම සඳහා සීමාවකින් තොර මුදල් අච්චු ගැසීමත් බලපා තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 මේවාට වගකිව යුතු නිලධාරීන්ට  කිසිම දඩුවමක් නැද්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.