මාලිගාවත්තේ වකුගඩු රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ කටයුතු දස මාසයක සිට නැවතී ඇතැයි ලැබුණු තොරතුරක් අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) හදිසියේම එහි ගියේය.

රෝහලේ වෛද්‍යවරු කීවේ දැඩි සත්කාර ඒකකයට විෂ බීජයක් ඇතුළුවීමෙන් වකුගඩු බද්ධ කිරීම නැවතී ඇති බවයි. මේ ගැන අදාල අංශවලට දැනුම් දුන්න ද පිළියමක් නොලැබුණු බව ඔවුහු කීහ.

මේ ගැටළුව වහාම නිරාකරණය කරන්නැයි මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා සිය කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂවරයාට උපදෙස් දුන්නේය. එය ඉටුවන්නේ දැයි දෛනිකව පරීක්ෂා කරන්නැයි ද කීවේය.

වකුගඩු රෝහලට යාබදව පිහිටි පළාත් සභා ඉඩම රෝහලට පවරා ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ද ජනපති උපදෙස් දුන්නේය. රෝගීන් හා ඔවුන්ගේ ඥාතීන් හමුවූ ජනාධිපතිවරයා කීවේ වකුගඩු රෝගය මෙරටින් තුරන් කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවයි.

(ඡායාරූප හා වීඩියෝ දර්ශන ජනාධිපති මාධ්‍ය අංශය)

01 02(1) 04 05