(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වී ගොවිතැන සඳහා රසායන පොහොර ගෙන්වීමට ජනාධිපතිවරයා සමග අද පැවැති සාකච්ඡාවේදී කිසිදු තීරණයක් නොගත් බව  කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය

වර්ෂාවෙන් හානිවූ එළවළු වගා වෙනුවෙන් පමණක් යම් පොහොරක් ගෙන්වීමට තීරණය කළ බවද  හෙතෙම සඳහන් කළේය .

ඇමැතිවරයා  මෙසේ පැවසුවේ  අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදයේදීය.

කෘෂිකර්ම ඇමති එකක් කියනවා ලේකම් එකක් කියනවා යැයි  විපක්ෂ නායක පැවසූ බවත්  අප සියලුම දෙනා හිට ගන්නේ ජනපතිගේ ප්‍රතිපත්තිය සමඟ බවත් අලුත්ගමගේ මහතා කීවේය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා එහිදී මෙසේද කීය.

නැනෝ නයිට්‍රජන් ගනුදෙනුවක් ගැන කතා කළා. රාජ්‍ය අමාත්‍යාංශය යටතේ නැනෝ නයිට්‍රජන්  සඳහා ටෙන්ඩර් කැඳවීම කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා.පසුව  පොහොර මිල අධික බව අපට ආරංචි වුණා. අප ආනයනකරුට ඒ පිළිබඳව දැනුවත් කළා .ඔහු ඩොලර් 2.5 කින් මිල අඩු කළා. එමගින්  බිලියන 1.7 ක මුදලක් ඉතිරි කර ගන්න හැකි වුණා.

නැනෝ නයිට්‍රිජන්  ගැන තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඕන දෙයක් ගන්න පුළුවන්. දූෂණයක් තිබේ නම් එය කියන්න. ඕනෑම විවාදයකට මමත් රාජ්‍ය ඇමතිත් සූදානම්.ප්‍රාදේශීය සංවර්ධනය නැතිව රටක් හදන්නේ කොහොමද?විපක්ෂය අද  මේ අය ඒ සංවර්ධනයත් විවේචනය කරනවා.නොවැම්බර් දෙසැම්බර්  හැම අවුරුද්දකම එළවළු මිල වැඩිවෙන කාලය.ඒ අතරේ අධික වර්ෂාපතනයකට ද අපට මුහුණ දෙන්න වුණා.රජය පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයකට  යන්න තීරණය කළා. ඇමතිවරයා ලෙස මා ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා වැලි ඇටයක වංචාවක් කළා යැයි ඔප්පු කරන්න .එසේ ක⁣ළොත් මා දේශපාලනයෙන් ඉවත්වෙනවා.අනියත බියක් ඇති කර ගන්න එපා. හාල් හිඟයක් ඇති වන්නේ නැහැ.