(අංජුල මහික වීරරත්න)

යල කන්නයේ කුඹුරු වල වී අස්වනු නෙලීම අවසන් කළ වහාම ඉපනැල්ලේ මුං ඇට වගා කිරීමේ තුන්වන කන්නය හෙවත් අතරමැදි කන්නයක් වගා කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් කටයුතු යොදා ඇත.

ඒ අනුව හෙක්ටයාර් එකකට මුං බීජ කිලෝග්‍රෑම් 25ක් බැගින් ගොවීන්ට නොමිලයේ ලබා දෙන අතර එක් ගොවියකු සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් රුපියල් 25 000ක මුදලක් වැය කිරීමට නියමිතය.

මෙවර අතරමැදි කන්නයේ දී අක්කර 63750ක මුං ඇට වගා කිරීමට සැලසුම් කර තිබේ. මෙරට  වාර්ෂික මුං ඇට අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 20 000කි. මෙම අතරමැදි කන්නයේ මුං ඇට වගා කිරීම මගින් මෙරට මුං ඇට වලින් ස්වයංපෝෂිත තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.