(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නාරහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණෙන පුද්ගලයන් රවටා ඔවුන්ගේ මුදල් සහ වැදගත් ලිපි ලේඛන සූක්ෂම අයුරින් රැගෙන පලායන සංවිධානාත්මක කල්ලියකට අයත් සාමාජිකයන් 22ක් අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.

ලිංගික අපචාර සිද්ධියකට අවශ්‍ය සැකකරුවකු සහ මත්ද්‍රව්‍ය චෝදනා ලද සැකකරුවකු ද වන බව පොලිසිය කියයි.

සැකකරුවන් සන්තකයේ තිබී රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන විවිධ ලිපි ලේඛන, සමාදාන විනිශ්චකාර බවට හා රාජ්‍ය ආයතනවලට අයත් නිල මුද්‍රා විශාල ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.

විවිධ අවශ්‍යතා සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී එය ඉක්මනින් ඉටු කර දෙන බව පවසා ප්‍රධාන දොරටුව අසල හමුවූ නාඳුනන පුද්ගලයන් තමන්ගේ මුදල් හා ලිපි ලේඛන රැගෙන අතුරුදන් වූ බවට ඉකුත් කාලය පුරා නාරහෙන්පිට සහ බොරැල්ල පොලිසිවලට දිගින් දිගටම ලද පැමිණිලි සම්බන්ධයෙන් අවධානය යොමුකර මෙම වැටලීම සිදු කළ බව පොලිස් නිලධාරියකු පැවැසීය.

වංචාකාරී කල්ලියට හසුවී මුදල් සහ ලිපි ලේඛන අහිමිකරගත් බහුතරයක් පිරිස දුර බැහැර ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයන් බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.