(අංජුල මහික වීරරත්න)

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින විදේශ අරමුදල් මත ක්‍රියාත්මක ව්‍යාපෘතියක් වන කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් මෙම වසරේ ඉදිරි කාලයේ  අක්කර 450ක මිරිස් වගා ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මෙරට  පාරිභෝජනයට අවශ්‍ය මිරිස් ප්‍රමාණයන් රටේම නිෂ්පාදනය කර ගැනීම සඳහා මෙම වසරේ  තවත්  ඉඩම් ප්‍රමාණයක මිරිස් වගා කරන ලෙස කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම ව්‍යාපෘතියට උපදෙස් දී තිබිණි.

ඒ අනුව දිස්ත්‍රික්ක 03ක එක් දිස්ත්‍රික්කයකින් අක්කර 15 බැගින් තෝරා ගෙන මිරිස් වගා කිරීමට කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් කටයුතු යොදා තිබේ.

ඒ යටතේ කිළිනොච්චි, අම්පාර හා බදුල්ල යන දිස්ත්‍රික්කවලින් අක්කර 450ක් අලුතින් මිරිස් වගාව සඳහා සැළසුම් කර තිබේ.

මෙම ව්‍යාපෘතියෙන් වියලි මිරිස් මෙට්‍රික් ටොන් 3600ක ප්‍රමාණයක් අපේක්ෂිතය.

දැනටමත් මෙම ව්‍යාපෘතිය මගින් අක්කර 1600ක මිරිස් වගා කර තිබේ. මෙම මිරිස් වගාවන් තුළ වැඩි අස්වැන්නක් ලබා දෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පර්යේෂණය කර හඳුන්වා දෙන ලද MICH- 1 හයිබ්‍රිඩ් මිරිස් ප්‍රභේදය වගා කිරීමට නියමිතය. මේ සඳහා ගොවීන්ට අවශ්‍ය සියලු යටිතල පහසුකම් ව්‍යාපෘතිය මගින් සපයන අතර ගුණාත්මකභාවයෙන් උසස් මිරිස්  පාරිභෝජනය සඳහා ලබා දෙන බව ද එම ව්‍යාපෘතිය පවසයි.