බුදුන් වහන්සේගේ දේශනා කළ කරුණාව, සාමය සහ අහිංසාව වර්තමාන ලෝකයට වෙන කවරදාටත් වඩා අදාළ වන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා අවධාරණය කරයි.

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ වෙසක් පොහොය නිමිත්තෙන්, ඉන්දියාවේ ලඩාක් ප්‍රාන්තය කේනද්‍රකොට ගනිමින් ආරම්භ වුණු සර්වඥ ධාතු ප්‍රදර්ශනය ආරම්භ කිරීමට ගිය අවස්ථාවේදීය.

ලඩාක් ප්‍රාන්තය කේනද්‍රකොට ගනිමින් බුදුන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය පසුගිය පළමු වැනිදා අති උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය. මෙය නම් කර ඇත්තේ ජාත්‍යන්තර බුද්ධ ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය යනුවෙනි.

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා මහතාගේ ප්‍රධානත්වයෙන් සර්වඥ ධාතු ප්‍රදර්ශනය ආරම්භ වූයේ සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කරමින් ආශිර්වාද ලබා ගනිමිණි.

නවදිල්ලියේ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇති මෙම පූජනීය සර්වඥ ධාතූන් වහන්සේලා, ඉන්දීය රජයේ විශේෂ ගුවන් මගින් ලඩාක් ප්‍රාන්තයේ ලේ නුවර වෙත වැඩම කරනු ලැබුණි. ලඩාක් යනු බෞද්ධයන් වැඩිපුර වාසය කරන ඉන්දීය ප්‍රාන්තයකි.

වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය ආරම්භ කරමින් පැවැති විශේෂ උත්සවයේ දී රැස්ව සිටි පිරිස ඇමතූ අමිත් ෂා ප්‍රකාශ කළේ මෙම වෙසක් පුන් පොහෝ දිනය ලඩාක් වැසියන්ට සුවිශේෂී දිනයක් වන බවය. ධාතු ප්‍රදර්ශනය නැරඹීම සඳහා ලඩාක් සහ අවට ප්‍රදේශවලින් දහස් සංඛ්‍යාත බෞද්ධ ජනතාවක් මෙන්ම සංචාරකයන් ද පැමිණි බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

“වසර 75 කට පසුව, යළිත් වරක්, ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ලඩාක් ප්‍රාන්තයට වැඩම කර තිබෙනවා. වසර 75 කට පෙර මෙම ධාතූන් වහන්සේලා මෙහි වැඩම කළ අවස්ථාවේදී දුෂ්කර මාර්ග සහ ප්‍රවාහන පහසුකම් අවම වීම හේතුවෙන් වන්දනාමාන කිරීමට අවස්ථාව ලැබුණේ ඉතා සුළු පිරිසකට පමණයි. ඒත් අද වන විට දියුණු මාර්ග පද්ධතියක් තිබෙනවා. ගමන් බිමහන් පහසුයි. ඒ නිසා ලඩාක් සහ කාර්ගිල් ප්‍රාන්තවල බෞද්ධ බැතිමතුන්ට බුදුන්ගේ අධ්‍යාත්මික පණිවිඩය සමීප කර ගැනීමට අවස්ථාව උදා වී තිබෙනවා.” යැයි අමිත් ෂා පැවැසීය.

හිමාල කලාපයේ බෞද්ධ උරුම ආරක්ෂා කිරීමටත්, ආධ්‍යාත්මික සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමටත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ඉන්දීය මධ්‍යම රජය කැපවී සිටින බව ද ස්වදේශ කටයුතු අමාත්‍යවරයා රැස්ව සිටි පිරිස අමතමින් අවධාරණය කළේය.