(නිමල කොඩිතුවක්කු)

ගෑස් ටැංකි පුපුරා යාම සහ ඒවායේ සංයුතිය පිළිබඳව මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් විමසා බැලීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් කෙළවරපිටියේ පිහිටි ලිට්රෝ සමාගම අද(09) නිරීක්ෂණය කරනු ලැබීය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ. සී. අලවතුවල, මුජුබර් රහුමාන්,හෙක්ටර් අප්පුහාමි, එස්. වේලුකුමාර් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ලිට්රෝ සමාගම නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා මෙසේ කීය.

එහිදී සමාගමේ අධ්‍යක්ෂවරයකු සමග අප සාකච්ඡා කළා. පාරිභෝගික සේවා අධිකාරිය ලබා ලබාදුන් නිර්දේශ මත දැනට ක්‍රියාත්මක වන බව ඔහු අපට දැනුම් දුන්නා. ඒ වගේම පසුගිය දිනවල ගෑස් සංයුතියේ යම් යම් වෙනස්වීම් සිදු වූ බවටත් ඔහු පිළිගත්තා.

සමගි ජන බලවේගය විදිහට අපි මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම මේ ගෑස් පුපුරා යාමෙන් හානි සිදු වූ ජනතාවටත් දේපලවලටත් වන්දි ලබාදීමට ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. 

අපේ රටේ ජනතාවගෙන් සියයට හතළිහක් පමණ ගෑස් පරිභෝජනය කරනවා. අද මේ ගෑස් සිලින්ඩරයක් ගන්නවා කියන්නේ නිවසට බෝම්බයක් ගන්නා වගේ වැඩක් වෙලා. ඒ නිසා වහාම රජය මැදිහත් වෙලා මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගත යුතුයි. 

මේ සම්බන්ධයෙන් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත්, පාරිභෝගික සේවා අධිකාරියටත් පැමිණිලා කළා. එහිදී ගෑස් ටැංකි වල සංයුතිය සහ ප්‍රමිතිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස අප ඉල්ලා සිටියා. මේ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර අපරාධ නීතිය අනුව අවශ්‍ය පියවර ගන්නා තුරු අපි අවධානයෙන් පසුවෙනවා" යැයි ද ඔහු එහිදී පැවසීය.

(ජායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගේ)