(යොහාන් භාසුර)

ලංගම සභාපති ධූරයෙන් තමන් ඉවත්කිරීමට හේතුව ලෙස අමාත්‍යවරයා දක්වා ඇති මාකුඹුර සිට කොළඹ කොටුව දක්වා ‘සිටි බස්’ සේවාව නතර කර නොමැති බවත් එම ව්‍යාපෘතිය සඳහා විශාල මුදලක් වැයකරමින් පෞද්ගලික අංශයෙන් බස් ගැනීම පමණක් නතර කළ බවත් ලංගම සභාපති ධූරයෙන් ඉවත් කළ කිංස්ලි රණවක මහතා පැවසීය.

මෙම ව්‍යාපෘතිය සඳහා පුද්ගලික සමාගමකට විශාල මුදලක් ගෙවීම ප්‍රශ්නයක් වියහැකි නිසා බස් කුලියට ගැනීම පමණක් අත්හිටුවිමට අධ්‍යක්‍ෂ මණ්ඩලය තීරණය කළ බව කී රණවක මහතා ලංගම සතු බස් රථ 6 ක් යොදාගනිමින් බස් සේවාව තව දුරටත් ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය.  

මෙම ව්‍යාපෘතියට ආසන 35 කුඩා බස් රථයක් මායකට රුපියල් 275,000 බැගින් බස් රථ 12 ක් කුලී පදනම මත ලබාගෙන මාස තුනට රුපියල් ලක්‍ෂ 67 ක් ගෙවූ බවත් එම ව්‍යාපෘතියෙන් මාස තුනකදී ලක්‍ෂ 85 ක පාඩු වී තිබූ බවත් රණවක මහතා කීය.  

‘සිටි බස්’ සේවය බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍ය ධූරයට පත්වීමට පෙර ගාමිණි ලොකුගේ, දිලුම් අමුණුගම යන ඇමතිවරු සහ තමන් එකතුව ආරම්භ කළ ව්‍යාපෘතියක් බවත් එය ‘කොව්ඩි’ හේතුවෙන් නතර කිරීමෙන් පසුව බන්දුල ඇමතිවරයාගේ මැදිත්වීමෙන් නැවත බස් සේවය ආරම්භ කළ බවත් හිටපු සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.