(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීම සම්බන්ධයෙන් ඉංගිරිය නම්බපාන ප්‍රදේශයේ හෝටලයකදී අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 8 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මහේස්ත්‍රාත් චාමනී විජයබණ්ඩාර මහත්මිය අද (26) නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද්දේ  හොරණ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකි.

යතුරුපැදියක් නැති වීම සම්බන්ධව පැමිණිලිකාර  කාන්තාවගේ පුතා  හොරණ පොලිසියට කරන ලද පැමිණිල්ලේ ලදු පතක් ලබාදීම සඳහා එම කාන්තාවට හෝටලයට පැමිණෙන ලෙස මෙම සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා පවසා ඇති අතර එම කාන්තාව ඒ සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු එදිනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරීවරයාට වැඩිදුරටත් නියෝග කළාය.