(අංජුල මහික වීරරත්න)

දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට රජය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව ද නිරන්තරයෙන් දේශගුණ විපර්යාස වලට මුහුණ දෙන රටක් වන හෙයින් අනාගතයේ සිදුවිය හැකි දේශගුණ විපත් කළමනාකරණය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම කාර්යාලය පිහිටුවනු ලබයි.

දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් එම කාර්යාලයේ කාර්යභාරයන් සිදු කෙරෙයි.

අනාගත දේශගුණ අභියෝගයන්ට මුහුණ දීම සඳහා ලෝකයේ බොහෝ රටවල් මෙවැනි ලේකම් කාර්යාල පිහිටුවා ඇති බවත් එම රටවල් අනාගත දේශගුණ අභියෝගයන්ට ශක්තිමත්ව මුහුණ දීම සඳහා අරමුදල් ද එක්රැස් කර තිබෙන බවත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ දේශගුණ අභියෝගයන්ට මුහුණදීම සඳහා සැලසුම් සකස් කිරීම මෙම ලේකම් කාර්යාලය පිහිටුවීමෙි ප්‍රධාන අරමුණකි.

දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවෙි පිහිටුවීමට සහ දේශගුණ විපර්යාස වලට මුහුණ දීම සම්බන්ධයෙන් වන පනතක්ද ඉදිරියේදී කෙටුම්පත් කොට පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති අතර එම කටයුතු ද මෙම ලේකම් කාර්යාලය මගින් සිදු කෙරෙයි.

මාලදිවයිනේ හිටපු ජනාධිපති වත්මන් කතානායක මොහොමඩ් නෂීඩ්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණ උපදේශක ලෙස පත් කරනු ලැබූ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සෝල්හයිම් මහත්වරු ද දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ කටයුතු සඳහා සහයෝගය පළ කරති.

නොවැම්බර් 06 වැනිදා සිට 18 වැනි දා දක්වා ඊජිප්තුවේ දී පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ COP 27 ලෝක සමුළුවේදී ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවේ පිහිටුවීමට නියමිත දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට නියමිතය.