
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙරට අවුරුදු 15ත් 24ත් අතර වයස් කාණ්ඩයේ සිටින උගත් තරුණ තරුණියන් සියයට 43 ක් රැකියාවක් නොමැතිව සිටින බවත් එය මෙම වයස් කාණ්ඩයේ කලාපයේ උගතුන් අතර ඇති ඉහළම රැකියා විරහිත අනුපාතය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නවතම විශේලේෂණ වාර්තාවක සඳහන් වේ.
ඩිප්ලෝමාවක්, උසස් ඩිප්ලෝමාවක් හෝ උපාධියක් හිමි මෙම තරුණ තරුණියන් අධ්‍යාපනයට සුදුසු රැකියාවක් සොයා ගැනීමට නොහැකිව සිටින බවත් ශ්‍රී ලාංකාව ඇතුළු ආසියානු කලාපයේ සිටින උගත් තරුණ තරුණියන්ට කෘතිම බුද්ධියේ වේගවත් ව්‍යාප්තිය හමුවේ තවත් අභියෝගයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි. ඉන් ඔවුන්ට රැකියා සොයාගැනීම තවදුරටත් අසීරු විය හැකි බවද එම අරමුදල පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා හා ශාන්තිකාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා ප්‍රකාශ කර සිටියේ ආසියා කලාපයේ සිටින උගත් තරුණ තරුණියන්ට තම සුදුසුකම්වලට ගැළපෙන රැකියා සොයාගැනීම ගැටලුවක්වී ඇති බවයි. ලෝකයේ කෘත්‍රීම බුද්ධිය භාවිතය තරුණ තරුණියන්ගේ කුසලතා වර්ධනය වන වේගයට වඩා වැඩි වේගයකින් ඉහළ ගියහොත් ඉන් තරුණ තරුණියන්ගේ රැකියා වෙළෙඳපොළට බලපෑමක් එල්ල කළ හැකි යැයිද ඔහු පැවැසුවේය.
තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ ආසියානු කලාපයේ ඉහළ අධ්‍යාපනයක් ලත් තරුණ තරුණියන් තම සුදුසුකම්වලට ගැලපෙන රැකියා සොයා ගැනීමට දැඩි ලෙස අරගල කරන බවත්, නව තාක්ෂණික වෙනස්කම් හමුවේ අධ්‍යාපන පද්ධතිය හා කුසලතා වර්ධනය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම අත්‍යවශ්‍ය වී ඇති බවයි.
තායිලන්තයේ අවුරුදු 15ත් 24ත් අතර උගත් තරුණ තරුණියන්ගේ රැකියාවක් නොමැති සිටින ප්‍රතිශතය සියයට 13.2ක් බවත් බංග්ලාදේශයේ එම ප්‍රතිශතය සියයට 36ක් බවත් එම විශ්ලේෂණය පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd