(අංජුල මහික වීරරත්න)

 හඳුනාගෙන ඇති සත්ව විශේෂවලින් 8% ක් දැනට ලෝකය⁣ට අහිමි වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සත්වයින්ගේ  ස්වභාවික වාසස්ථාන විනාශ කිරීම සහ ආක්‍රමණික ක්‍රියා හේතුවෙන් තවත් සත්ව විශේෂ  22%ක් වඳවීමේ අවදානමට ලක්ව ඇති බවද ජනාධිපතිවරයා කීය.

 ඒ අනුව වසර 100කට පෙර තිබූ වේගයට වඩා දස දහස්ගුණයක වේගයෙන් ලෝකයට ජෛව විවිධත්වය අහිමි වෙමින් පවතින බව ආසියා පැසිෆික් කලාපයේ අමාත්‍යවරුන්ගේ සහ පරිසර බලධාරීන්ගේ 5වන සංසදය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

දේශගුණික විපර්යාස සලකා බැලීමේ දී  2030-2052 අතර කාලය වන විට දැනට පවතින සෙන්ටිග්‍රේඩ් අංශක ප්‍රමාණයට සාපේක්ෂව තවත් 1.5% කින් ගෝලීය උණුසුම වැඩි විය හැකි බවට දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය විසින් ඇස්තමේන්තු කර ඇති බව ද ජනාධිපතිවරයා කීය.

කොළඹ ශ්‍රැංගිලා හෝටලයේ දී මෙම සංසදය පැවැත්විණි.