( ටී.කේ.ජී.කපිල )

පාන් ගෙඩියක මිළ සහ අනෙකුත් සියලුම කෙටි කෑම වල මිළ රුපියල් 5.00 ක් අද (30) මධ්‍යම රාත්‍රී සිට ඉහළ නැංවීමට තම විධායක සභාවේ තීරණය මත සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා රද්දොළුගම එම සංගමයේ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය .

මෙරට තුළ පාන් පිටි අලෙවි කිරීමේ නිරත සමාගම් විසින් ඉකුත් 20 දින මධ්‍යම රාත්‍රී සිට පිටි මිළ රුපියල් 13.00 න් ඉහළ නැංවීමට පියවර ගෙන තිබූ අතර , ඒ පිළිබද ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සමන්තා කරුණාරත්න මහත්මියගෙන් විමසූ විට , එසේ පාන් පිටි මිළ තම අධිකාරිය වෙත නොදන්වා ඉහළ නැංවීම වැරදි බවත් , වෙළද අමාත්‍යවරයා විදේශ ගත වී සිටින බැවින් , ඔහු පැමිණෙන තෙක් බේකරි නිෂ්පාදන වල මිළ ගනන් ඉහළ නැංවීම සිදු නොකරන ලෙසත් ඉල්ලීමක් කර තිබූ බව සභාපති ජයවර්ධන මහතා අනාවරණය කළේය .

එහෙත් පාන් පිටි මිළ ඉහළ නැංවීමට  සාපේක්ෂව තම බේකරි නිෂ්පාදන වල මිළ ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස රට පුරා තම සාමාජිකයන් දැඩි බලපෑමක් තමන් වෙත සිදු කළ බව සභාපතිවරයා පැවසීය .

මැදපෙරදිග යුධමය වාතාවරණය සහ ලෝකයේ අයහපත් දේශපාලන වාතාවරණය හමුවේ තවදුරටත් පාන් පිටි මිළ පහත හෙලීම දුෂ්කර කාර්යයක් වී ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය .