දකුණු කොරියාවේ සෝල් අගනුවර පූචෝන්හි ෂොක්වන්සා විහාරය එරට වෙසෙන 30,000 කට අධික ශ‍්‍රී ලාංකිකයන්ට සහ කොරියා ජාතික බෞද්ධයන්ට මහත් අස්වැසිල්ලක් බව එරට සංචාරය කළ අවස්ථාවේදී දැකගත හැකි විය.

මව්බිමෙන් කිලෝමීටර දහස් ගණනක් ඈතින් සිටින ශ‍්‍රී ලංකා බෞද්ධයන් ගමේ පන්සල සමග සම්බන්ධවන්නා සේම ෂොක්වන්සා විහාරස්ථානය සමග ලෙන්ගතුව කටයුතු කරන ආකාරය ප‍්‍රශංසනීය බව කිව යුතුය.

ආසියාවේ භූමි ප‍්‍රමාණයෙන් විශාලතම රටවල් අතර ඉදිරියෙන් සිටින දකුණු කොරියාවේ කොතැන සිටිය ද ඉංචන් දුම්රිය මාර්ගයෙන් ‘සෝසා’ දුම්රිය ස්ථානය අසල පිහිටි පංසලට පැමිණීම ශ‍්‍රී ලාංකිකයන්ගේ ජනප‍්‍රියම ප‍්‍රවාහන මාර්ගයයි.

දකුණු කොරියාවේ ප‍්‍රධාන සංඝනායක දොඹගලවල දමිත සහ ගම්මැද්දේගම මුදිත යන හිමිවරු ශ‍්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඉටුකරමින සේවය ද මෙම විහාරස්ථානය ශ‍්‍රී ලාංකිකයන් අතර ජනප‍්‍රිය වීම ප‍්‍රධාන සාධකයක් බවට පත්ව තිබේ.

කොරියා ජාතික යොන් ඩම් ලින් හිමි පන්සලේ ලොකු හාමුදුරුවෝය. ශ‍්‍රී ලංකාවට විශේෂ ලෙන්ගතු කමක් දක්වන බව ඒ හිමියෝ කියති.

යොන් ඩම් ලින් හිමියෝ දකුණු කොරියා බෞද්ධ රූපවාහිනි නාලිකාවේ සභාපතිවරයා මෙන්ම තුංගු බෞද්ධ විශ්වවිද්‍යාලයේ සභාපතිවරයා ද වෙති. උන් වහන්සේ ගම්පහ රතුපස්වල සුබ සාධන සේවා රැසකට පසුබිම සකස් කිරීම ස`දහා පසුගිදා ශ‍්‍රී ලංකාවට ද පැමිණියහ.

මෙම විහාරස්ථානයේ පුජා කටයුතු අලුයම 4  ට පමණ ආරම්භ වන අතර කොරියා ජාතික බෞද්ධයයෝ හිමිදිරියේ එහි එති.

සූනාමියෙන් මියගිය ශ‍්‍රි ලාංකිකයන් සහ යුද්ධයේ දිවි පිදූ රණවිරුවන් සිහිකරමින් සෑම වසරකම ජනවාරි 1 වැනිදා පැවැත්වෙන පිංකම මෙම විහාරස්ථානයේ නිරන්තරයෙන් ආගමික කටයුතුවලින් ප‍්‍රමුඛස්ථාකයක් ගනී.

දොඹගලවල දමිත හිමි පැවසුවේ ඒ සදහා ශ‍්‍රී ලාංකිකයන් ඇතුඵ 8000 ක පමණ පිරිසක් දායකවන බවයි.

”මම හිතන්නේ විශේෂයෙන් සුනාමියෙන් මියගිය අය සිහිකර පිරිනමන දානය මෙයයි. ඒ වගේම වෙසක් පොහොය දිනයේ අපේ දන්සලට බේදයකින් තොරව සියලූ දෙනාම සහභාගි වෙනවා.

වෙසක් උත්සවය වෙනුවෙන් මෙම විහාරස්ථානයේ වසර ගණනාවක සිට අලංකාර පහන් කූඩුවක් ද ඉරිකරන බව ඒ හිමියෝ පැවසූහ.

මෙම විහාරස්ථානය කේන්ද්‍රකරගනිමින් ක‍්‍රියාත්මක වන ධම්ම නිකේතන මධ්‍යස්ථානය ඈත රටක සේවය කරන ශ‍්‍රී ලාංකිකයන්ට මහ ගෙදර බඳුය. එරට සේවය කරන ශ‍්‍රී ලාංකිකයන්ගේ රැුකියාව අහිමිවුවහොත් ඔවුන්ට සේවා ස්ථානයෙන් දුන් නේවාසික ස්ථානය අහිමි වේ. අනතුරු ඔවුන්ට තානාපති කාර්යාලයේ පිහිට පැතීමට සිදුවේ.

එවැනි ශ‍්‍රී ලාංකිකයන්ට මෙම විහාරස්ථානයේ සුබ සාධන මධ්‍යස්ථානයේ ඉතාමත් ඉහළ පහසුකම් යටතේ නවාතැන් ගැනීමේ පහසුකම් සපයා ඇත. අප විහාරස්ථානයට යන විටත් එම සුබ සාධන මධ්‍යස්ථානයේ රැකියා අහිමි ලාංකිකයෝ පස් දෙනෙක් නවාතැන් ගෙන රැකියා සොයමින් සිටියහ.

දකුණු කොරියාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයට පිහිට පතා පැමිණෙන්නන් පවා ෂොක්වන්සා විහාරස්ථ සුබ සාධන මධ්‍යස්ථානයට යොමු කරන බව එහි නවාතැන් ගෙන සිටි ශ‍්‍රී ලාංකිකයෙක් පැවසීය.

දකුණු කොරියාව අතීතයේ බෞද්ධ රටකි. මේ වන විටත් එරට සැළකිය යුතු බෞද්ධයන් සංඛ්‍යාවක් සිටින අතර ඔවුහු දැඩි භක්තිය යුතුව ආගමික වතාවත් වල යෙදෙන ආකාරය දැකගත හැකිය.

ෂොක්වන්සා විහාරයේ ශ‍්‍රී ලංකාවේ දැකිය නොහැකි සුවිශේෂි ප‍්‍රතිමා රැසකි. එම විහාරයේ ස්ථාපිත කිරීමට දළදා මාළිගයේ අනුරුවක් මේ වන විට ශ‍්‍රී ලංකාවේ නිර්මාණය වෙමින් පවතියි.

01 DSCN0441 DSCN0442 DSCN0443 DSCN0449 DSCN0456 DSCN0459 DSCN0464 DSCN0466 DSCN0473