ජර්මානු  ව්‍යාජ  ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින්  ශ්‍රී ලංකාවේ සිට සිංගප්පුරුව හරහා ජර්මනිය වෙත යාමට උත්සහ කළ උතුරේ තරුණයෙක්  සහ ඔහුට ඒ සඳහා උදව් කළ තැරැව්කරුවෙකු  කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්  අත් අඩංගුවට ගනු ලැබීය.

අත් අඩංගුවට ගනු ලැබු සැකකරුවන්ගෙන් එක අයෙකු යාපනයේ පදිංචි 25 හැවිරිදි  තරුණයෙකි. තැරැව්කරු  ජර්මනියේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකි. ඔහු එරට පුරවැසිභාවය ලැබු අයෙකි.

ව්‍යාජ ලියිකියවිලි සකසා උතුරේ තරුණයන් සිංගප්පුරුව හරහා ජර්මනියට යවන තවත් මිනිස් ජාවාරමක් පිළිබඳ ලැබුන තොරතුරක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම වැටලීම සිදු කොට ඇත.

මින් ජර්මනියේ පදිංචි පුද්ගලයා  මීට දින කිහිපයකට පෙර මෙරටට පැමිණ ඇති බවත්   ඔහු යාපනයේ තරුණයාද රැගෙන  ශ්‍රී ලංකන් ගුවන්සේවයේ  ගුවන් යානයකින් සිංගප්පුරුව හරහා ජර්මනිය බලා යාමට ගුවන්තොටුපොළට පැමිණ ඇති බව අනාවරණය වෙයි.

මින් තරුණයා මුලින්ම තම  සැබෑ ගුවන් ගමන් බලපත්‍රය ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ වලට  සහ  ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ට පෙන්වා ගුවන් ගත වීමට සුදානම්ව ඇත.

පසුව තැරැව්කරු  ඔහු අතට ව්‍යාජ  ගුවන් ගමන් බලපත්‍රයක් ලබා දී  තරුණයාගේ සැබෑ ගුවන්ගමන් බලපත්‍රය ගුවන්තොටුපොළ වැසිකිලියේ සගවා ගුවන්ගතවිමට උත්සහ කරද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණ දෙදෙනා   අත්අඩංගුවට ගෙන ඇත.

 තරුණයා අතට තැරැව්කරු විසින්  ලබා දුන්  ගුවන් ගමන් බලපත ජර්මනියේ සකස් කරන ලද ජර්මානු  ගුවන් ගමන් බලපත්‍රයක් බව අනාවරණය වී ඇති අතර  වැසිකිලියේ සගවා තිබු තරුණයාගේ සැබෑ ගුවන් ගමන් බලපත්‍රයද සොයාගෙන ඇත.

මෙලෙස වරින් වර විවිධ තරැව්කරුවන් යොදා ගනිමින්  උතුරේ තරුණයින් ජර්මනියට රැගෙන යන  මිනිස්  ජාවාරමක්  මෙරට තුළ ක්‍රියාත්මක බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් මෙම ජාවාරම  මෙහෙයවන  පුද්ගලයින් අනාවරණය කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ  සිදු කරති.