IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ලංකා - ජපන් නායකයෝ ඒකාබද්ධ මාධ්‍ය හමුවක

(අංජුල මහික වීරරත්න)

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය ජපාන අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයේදී අද (29) පෙරවරුවේ පැවැත්විණි. 

ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා ජපාන අග්‍රමාත්‍ය ෂිගෙරු ඉෂිබා (Shigeru ISHIBA) මහතා විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබූ අතර, ජනාධිපතිවරයා වෙනුවෙන් ජපාන ස්වයං ආරක්ෂක බලකායේ උත්තමාචාරද පිළිගැන්විණි. එම පෙළපාළිය නිරීක්ෂණය සඳහාද ජනාධිපතිවරයා එක් විය.

දෙරටේ නියෝජිත පිරිස හඳුන්වා දීමෙන් අනතුරුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපාන අග්‍රමාත්‍ය ෂිගෙරු ඉෂිබා (Shigeru ISHIBA) මහතා අතර නිල සාකච්ඡා ආරම්භ කෙරිණි.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතීන දීර්ඝකාලීන සමීප මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින්, දෙරට අතර වෙළෙඳ, ආයෝජන, ආර්ථික, සංවර්ධන ආධාර සහ කලාපීය ආරක්ෂාව ආදී කරුණු ආවරණය කෙරෙන පරිදි විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳව එහිදී අවධානය යොමු කෙරිණි.

දෙපාර්ශ්වය අතර සංවර්ධන සහාය (Official Development Assistance) තවදුරටත් පිළිබිඹු කරමින් කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය (Project for the Enhancement of Productivity in the Dairy Sector) සහ නිල ආරක්ෂක ආධාර ලබා දීමේ වැඩසටහන (Official Security Assistance- OSA) පිළිබඳ හුවමාරු පත්‍ර අත්සන් තැබීමද මෙහිදී සිදු කෙරිණි.

ඉන් අනතුරුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුව අමතමින් ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා (Shigeru ISHIBA) මහතා  සඳහන් කළේ ඉන්දියානු සාගරයේ කේන්ද්‍රීය ස්ථානයක පිහිටි ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ සංවර්ධනය ඉතා තීරණාත්මක බවත්, ඒ අනුව ශ්‍රී ලංකාව සමඟ හවුල්කාරිත්වය තවදුරටත් වර්ධනය කර පුළුල් කර ගැනීමට අපේක්ෂා කරන බවත්ය.

මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය, අන්‍යෝන්‍ය විශ්වාසය, ගෞරවය සහ ශක්තිමත් පුද්ගල සබඳතා මත පදනම් වී තිබෙන බවයි. ජපාන අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡා ශ්‍රී ලංකා-ජපාන සබඳතාවල වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවත්, එම එකඟතාවල සැබෑ ප්‍රතිලාභ අත් කර ගනිමින් සංවර්ධනය සහ ස්ථාවරත්වය වෙනුවෙන් යන ගමනේදී ජපානය සමඟ එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව කැපවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජපාන රජයේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද, පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අතරමඟ නැවතුණු සංවර්ධන ව්‍යාපෘති 11ක් නැවත ආරම්භ කරමින් එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීම වෙනුවෙන් ජපන් රජය දැක් වූ සහාය මෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සාර්ථක කර ගැනීමට ලබා දුන් දායකත්වය වෙනුවෙන්ද ජපාන රජය වෙත ස්තූතිය පළ කිරීමට ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා අතර පැවති නිල සාකච්ඡාවලින් පසු දෙපාර්ශ්වය විසින් ඒකාබද්ධ ප්‍රකාශයක්ද මාධ්‍ය වෙත නිකුත් කෙරිණි. (Joint Statement) මින් අනතුරුව ජපාන අග්‍රාමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ප්‍රමුඛ දූත පිරිස වෙත පිරිනමන ලද භෝජන සංග්‍රහයටද ජනාධිපතිවරයා ඇතුළු පිරිස සහභාගී විය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යුසූෆ්, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ  ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරු සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ජපාන රජය නියෝජනය කරමින් ඉහළ පෙළේ දූත පිරිසක් එක් වූහ. 

 



අදහස් (0)

ලංකා - ජපන් නායකයෝ ඒකාබද්ධ මාධ්‍ය හමුවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1715 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site