
(අංජුල මහික වීරරත්න)
රාජ්ය සෞඛ්ය පද්ධතිය තුළ ජලය හා විදුලිය අරපිරිමැස්මෙන් සහ කාර්යක්ෂමව භාවිත කිරීම සඳහා සම්පාදනය කළ විශේෂ කළමනාකරණ මාර්ගෝපදේශ මාලාව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා වෙත පිළිගන්වන ලදී.
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ සැලසුම් අංශයේ සංවිධාන සංවර්ධන අංශයේ අධ්යක්ෂිකා විශේෂඥ වෛද්ය උපුලී විජේමාන්න මහත්මිය විසින් මාර්ගෝපදේශ මාලාව අමාත්යවරයා වෙත පිළිගන්වන ලද අතර, එම අවස්ථාවට සැලසුම් අංශයේ නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් එස්. ශ්රීධරන් මහතා ද එක්ව සිටියේය.
ලෝක බලශක්ති දිනය 22 දිනට යෙදීම නිමිත්තෙන් මෙම මාර්ගෝපදේශ මාලාව කොළඹ ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ ශ්රවණාගාරයේදී සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතාගේ ප්රධානත්වයෙන් එළිදක්වන ලදී.
සෞඛ්ය ආයතන වල සැබෑ අවශ්යතා සහ මෙහෙයුම් තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සකස් කර ඇති මෙම මාර්ගෝපදේශ මඟින් ජල හා විදුලි පරිභෝජනය අධීක්ෂණය, දත්ත වාර්තාකරණය විධිමත් කිරීම, පද්ධති නිසි පරිදි නඩත්තු කිරීම සහ කාර්ය මණ්ඩල සහභාගිත්වයෙන් සම්පත් භාවිතය අඛණ්ඩව වැඩිදියුණු කිරීම සඳහා අවශ්ය ක්රමවේද හඳුන්වා දී ඇත.
රෝහල්වල ශල්යාගාර, දැඩි සත්කාර ඒකක, රසායනාගාර සහ සනීපාරක්ෂක පහසුකම් පවත්වාගෙන යාමට ජලය හා විදුලිය අත්යවශ්ය වන බැවින්, රෝගී සත්කාරයට බාධාවක් නොවන අයුරින් නාස්තිය අවම කිරීම මෙහි ප්රධාන අරමුණකි.
පරිභෝජනය විධිමත්ව නිරීක්ෂණය කිරීම සහ නඩත්තු කටයුතු නිසි පරිදි සිදු කිරීම තුළින් මහජන මුදල් කාර්යක්ෂමව භාවිත කිරීමටත්, සෞඛ්ය සේවාවේ තිරසාරභාවය ශක්තිමත් කිරීමටත් දායකත්වයක් අපේක්ෂා කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd