(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

රුහුණ විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවියන්ට කොන්දේසි පනවමින් අපහසුතාවයට පත් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන අවසන් වන තෙක් එහි වෛද්‍ය පීඨයේ සිසුන් 263 දෙනකුට කරාපිටිය වෛද්‍ය පීඨයට ඇතුළු වීම තාවකාලිකව තහනම් කල බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා පැවසීය.

එම පීඨයේ දෙවන වසරේ ශිෂ්‍ය කණ්ඩායමක් මෙම තහනමට ලක්ව සිටින බව දැන ගන්නට ඇත.

නවක සිසුන් පිලි ගැනීම සදහා පැවති උත්සවයේ දී න්‍යාය පත්‍රයේ සදහන්ව තිබු පීඨාධිපතිවරයාගේ කතාව ඉන් ඉවත් කර එකගතා කඩ කිරීම,නවක සිසුන්ට දිග කලිසම් අත් දිගට කමිස ඇද ගෙන ටයි හා සපත්තු පැලද පැමිණීමට ද නවක සිසුවියන්ට සාරිය ඇද මේ කප් කර කොණ්ඩය සකසා ගෙන පැමිණීම අනිවාර්ය කිරීම ආදී ක්‍රියා සිදු කිරීම අදාල ශිෂ්‍ය කණ්ඩායමට එල්ල වී ඇති චෝදනා අතර වේ.

රටේ පවතින තත්වය තුළ ඒ ආකාරයට ටයි ගැනීමට,කොණ්ඩය සකස් කිරීමට,රූපලාවන්‍ය කිරීමට අමතර වියදමක් දැරීමට සිසු සිසුවියන්ට හා ඔවුන්ගේ මාපියන්ට අපහසු බවත් එම නිසා කලින් ඇති කර ගත් එකගතා කඩ කිරීම මත විමර්ශනයක් පවත්වන බවත්  උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා කීය.

අදාල විමර්ශනයේ දී යම් හෙයකින් නවක වධය දී ඇති බව හෙලි වුවහොත් එම සිසුන් ශිෂ්‍ය භාවය අහෝසි කර විශ්ව විද්‍යාලයෙන් නෙරපීම වැනි දැඩි දඩුවම් පැමිණවීමට තමා කිසි විටෙක පසු බට නොවන බවද ඒ මහතා සදහන් කළේය.