(විමුක්ති එස් රුද්‍රිගු)

යුක්රේනයේ කියෙව් නගරයට බටහිරින් පිහිටි ෂෙල් වෙඩි, බෝම්බ සහ අනෙකුත් පතොරම් ගබඩා කර තිබූ ගබඩාවකට රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් 37ක් මියගොස් ඇතැයි එරට බලධාරීහු ප්‍රකාශ කළහ.

එමගින් ඇති වූ දැවැන්ත පිපිරීම් සහ ගිනිගැනීම් ආසන්නයේ පිහිටි නිවාස සහ ගොඩනැගිලි රැසකට පැතිර යාමෙන් මෙම මරණ සිදුව ඇතැයි යුක්රේන බලධාරීහු පවසති.

බුචා දිස්ත්‍රික්කයේ මිලා ගම්මානයේ පිහිටි මෙම ගබඩාවට පසුගිය 28 වැනිදා රුසියානු හමුදාව පහරදී ඇති අතර එය මෙම වසරේදී රුසියාව යුක්රේනයට එල්ල කළ මාරාන්තිකම ප්‍රහාරය ලෙසද සැළකේ.

යුක්රෙන අගනුවර සහ ඒ අවට සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බාධා එල්ල කරමින් රුසියාව විසින් දින තුනක් පුරා නොකඩවා එල්ල කරන ලද ප්‍රහාර මාලාවේ දෙවන දිනයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත. පසුගිය 27 වැනිදා සිට රුසියාව යුක්රේනයට අඛන්ඩව ප්‍රහාර එල්ල කරන බවද පැවැසෙයි.

ගබඩාවට එල්ල වූ ප්‍රහාරයෙන් හටගත් ගින්න නිවාස දෙසට පැතිර යාමෙන් අවම වශයෙන් නේවාසික ගොඩනැගිලි 50 කට පමණ හානි සිදු වූ බව යුක්රේන බලධාරීන් ප්‍රකාශ කර ඇත.

මියගිය පිරිසෙන් 34 දෙනෙකුම වැඩිහිටි සහ ආබාධිතයන් සඳහා වන සරණාගත නිවාසයක නේවාසිකයින් බවද බලධාරීන් පැවැසුවේය. සිද්ධියෙන් පසු 370 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට යුක්රේන බලධාරීන් කටයුතු කර තිබේ.