(සමන් පාලිත නානායක්කාර)

ඇල්ල රාවනා ඇල්ල රක්ෂිතයට ගිනි තැබූ බවට සැකපිට පාසල් සිසුන් 16 දෙනෙකු අද 24 සවස අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය කියයි.

රාවනා ඇල්ල රක්ෂිතයේ තැබූ මෙම ගින්නකින් අක්කර පහළොවකට අධික ප්‍රමාණයක් විනාශ වී ඇති බවත් යුද හමුදාව පොලීසිය වන රක්ෂණ නිලධාරීන් ඇල්ල ප්‍රාදේශීය සභාව ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආපදා කළමනාකරණ ඒකකයේ නිළධාරීන් ඇතුළු පිරිසක් එක්ව මහත් පරිශ්‍රමයක් දරා ගින්න පාලනය කළ බවත් බදුල්ල ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය.

මෙම ගින්නෙන් වටිනා ශාක හා වන සතුන් ද විනාශ වන්නට ඇතැයි පරිසරවේදීහු පවසති. බදුල්ල සිට සංචාරයක පැමිණි වයස අවුරුදු 15 ක් පමණ වන පාසල් සිසුන් දස දෙනකු මෙම ගින්න හටගත් ස්ථානයේ සිට ඇති අතර ඔවුන් ගිනි තැබූ බවට සැකපිට ඇල්ල පොලීසියට ලද තොරතුරක් අනුව මෙම පාසල් සිසුන් 16 දෙනා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අභයගුණවර්ධන මහතා ගේ මූලිකත්වයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.