(රෝෂන් තුෂාර)

රවී කරුණානායක මහතා ඉදිරි දිනයකදී අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බවත් කොමිසම මගහැරීමක් කර නොමැති බවත් ඒ මහතාගේ නිවසේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.

ඉදිරි දිනයකදී පැමිණෙන බවට අල්ලස් කොමිසමට දැනුම් දී ඇති බවද පැවසීය.

ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියකට යැයි කියමින් බඳවාගත් සේවකයින් තිදෙනෙකු දේශපාලන කටයුතුවලට යොදවා දූෂණය නම් වරද සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අල්ලස් කොමිසමට පැමිණෙන ලෙස හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතාට දන්වා තිබුණද ඒ මහතා තෙවැනි වතාවටත් කොමිසමට පැමිණ නොමැති බව එම කොමිසම පවසයි.

අල්ලස් කොමිසමට පැමිණෙන ලෙසට තුන් වතාවක් දැනුම් දී තිබියදී කොමිසමට නොපැමිණි ම හේතුවෙන් නිලධාරීන් කණ්ඩායමක් රවී කරුණානායක මහතාගේ නිවසට අද උදෑසන ගොස් සිටි අතර නිවසේද ඒ මහතා නොසිටි බව පැවසේ.

කොමිසමේ දැනුම් දීම පරිදි නොපැමිණීම සම්බන්ධයෙන් රවි කරුණානායක මහතාගේ නීතිඥවරයා කරුණු දක්වමින් කියා සිටියේ තම සේවා දායකයා කිසිසේත් අල්ලස් කොමිසම මගහැරීමක් සිදු කර නොමැති බවය.

කොමිසමට පැමිණෙන ලෙසට දැනුම් දුන් දිනයේ පැමිණිය නොහැකි බවට දැනුම් දී වෙනත් දිනයක් ලබාගෙන ඇති බවද, කරුණානායක මහතා ඉදිරි දිනයකදී අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බව කරුණානායක පාර්ශවයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.