(මුදිතා දයානන්ද)

අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකිර්ණයේ නඩු භාණ්ඩ ගබඩාවෙන් හොරොයින් කිලෝවක් සොරකම් කළැයි අත්අඩංගුවට රිමාන්ඩ් බාරයේ සිටින එහි හිටපු ගබඩාවේ  භාරකරු රිමාන්ඩ් භාරයේ සිටියදිත් දිනපතා නඩුභාණ්ඩ ගබඩාව වෙත පැමිණෙන බව නීතීඥවරු පිරිසක් පවසති.

මෙම සැකකාර සේවකයා දිනපතා බන්ධනාගාර බස්රථයෙන් අධිකරණ සංකීර්ණය වෙත පැමිණ සවසට බන්ධනාගාර බස් රථයෙන්ම ආපසු යන බවද ඔහු අධිකරණ සංකීර්ණය පුරා මාංචු නොමැතිව සැරි සරන බවද ඔවුහු පවසති.

මොහු දවසේ වැඩි කාලයක් නඩු භාණ්ඩ ගබඩාවේ ගත කරන බවද ඔවුහු පවසති.

දැනට එම ගබඩාවේ තාවකාලික පදනමින් සේවය කරන බාරකරුට නඩුභාණ්ඩ සම්බන්ධයෙන් අදහසක් නැති නිසා ඔහුගේ සහයට රිමාන්ඩ් භාරයේ සිටින ගබඩා භාරකරු යොමු කරන ලෙසට අධිකරන නියෝගයක් ඇති බව මේ සම්බන්ධයෙන් විමසු සිට අධිකරණ සංකිර්ණයේ ඉහළ නිලධාරිවකු පැවසූ බවද ඇතැම් නීතිඥවරු පවසති.

මෙම නඩු භාණ්ඩ ගබඩාවෙන් කෝටියකට ආසන්න රත්රන් තොගයක් ව්‍යාජ නියෝගයක් ඉදිරිපත් කරමින් කිසියම් පුද්ගලයකු විසින් රැගෙන යාම සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසීමකදි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ නඩු භාණ්ඩ ගැන හොඳින්ම දන්නේ ඔහු නිසා ඒවා නිදහස් කිරිමට සිදුවන අවස්ථාවල රිමාන්ඩ් භාරයේ සිටින සම්පත් නමැත්තා නඩු භාණ්ඩ ගබඩාව වෙත යොමු කරන ලෙසට අධිකරන නියෝගයක් තමන් වෙත ලැබි ඇති බවය.

එම නියෝගය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් සමගද සාකච්ඡා කර ඔහුව අදාල කටයුත්ත සඳහා යොමු කරන බවද ඒකනායක මහතා සඳහන් කළේය.