( දිල්රුක්ෂි ග්‍රේරු )
වැල්ලවත්ත ගාලු පාරේ රථ ගාල් කිරීම සඳහා වෙන් කළ ස්ථානයක සිය මෝටර් රථය ගාල් කර එහි ගාස්තුව ගෙවීමට අමතකව ආපසු පැමිණි දෙහිවල ප්‍රදේශයේ තැනැත්තෙකුට දින 13 කට පසු ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් 10120 ක දඩයක් ගෙවීමට සිදුවීමෙන් ඔහු දැඩි අපහසුතාවට ලක්ව තිබේ.
එම රථ ගාලෙහි වාහනය පැයක් නවතා තැබීම සඳහා රුපියල් 30ක මුදල් අය කරනු ලබන අතර එය වාහනය ගාල් කරනු ලබන පුද්ගලයා විසින්ම මුදල් ගෙවනු ලබන යන්ත්‍රයකට මුදල් ගෙවීම කළ යුතුව ඇත. එහෙත්
ඒ සම්බන්ධයෙන් නිසි දැනුවත් වීමක් නොමැති වීම නිසා සහ මුදල් අයකර ගැනීම සඳහා කිසිදු ආරක්ෂක නිලධාරියෙකු හෝ නොසිටි නිසා ඔහු නැවත නිවස බලා පැමිණ තිබේ.
ඉකුත් අප්‍රේල් 25 වැනිදා මෙම සිදුවීමට මුහුණ පෑ ඔහු දින කිහිපයකට පසු පුවත්පත් වාර්තාවකින් දැක ඇත්තේ අයිතිකරු විසින් යන්ත්‍රයකට මුදල් ගෙවා වාහනය නතර කර පැමිණෙන ස්ථානයක ඒ පිළිබඳව නොදැනුවත් කම නිසා මුදල් නොගෙවා පැමිණිමෙන් පසු දහස් ගණන් දඩ ගෙවීමට බොහෝ පිරිස් හට සිදු වී ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් මිතුරකුගෙන් විමසු විට ඔහුද එවැනි අකරතැබ්බයකට මුහුණ පෑමට සිදු වීමෙන් අපහසුතාවට පත්ව ඇති බව තොරතුරු අනාවරණය වී ඇත. අනතුරුව තමාටද ඉකුත් 25 වැනි දින සිදු වුයේ මෙවැනිම කරුණක්දැයි සැක සිති මේ සම්බන්ධව කරුණු සොයා තිබේ.
අදාල ආයතනයට දුරකතන ඇමැතුමක් ලබා දුන් පසු ඔවුන් පවසා ඇත්තේ මුදල් නොගෙවා ගියහොත් දඩ මුදල් ලෙස දිනකට රුපියල් 1080 ක් ගෙවිය යුතු බවයි. ඒ වන විටත් ඔහු දින 13 ක් ප්‍රමාද වීම හේතුවෙන් ප්‍රමාද ගාස්තු ලෙස දඩ මුදල් ලෙස 13,000 කට අධික මුදලක් ගෙවිය යුතු බව එම නිලධාරීන් දන්වා තිබේ. එතරම් මුදලක් තමාට ගෙවීමට නොහැකි බව පැවසු විට එසේනම් රුපියල් 10120 ක මුදලක් ගෙවන ලෙසත් එසේ නොමැති ඔහුට එරෙහිව නඩු පවරන බව ඔවුන් සඳහන් කළ බවත් ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක් වු ඔහු ඔහු තමන්ගේ අනන්‍යතාව හෙලි කිරීමට අකමැති විය.
‘ මේ සිද්ධිය වුණේ පහුගිය අප්‍රේල් 25 වෙනිදා. මගේ මව අසනීප වෙලා වැල්ලවත්තේ පෞද්ගලික රෝහලක නතර කරලා හිටියා. රෝහලේ රථගාලේ ඉඩ නොතිබුණු නිසා ඒ අසල ගාලුපාරේ ඉඩ තිබුණු පෞද්ගලික රථ ගාලක මං වාහනය නතර කළා. පැය දෙකක් විතර වාහනය එතැන තිබුණා. ආපසු එද්දි මගේ වාහනයේ ඉස්සරහා කොලයක් තියලා තියෙනවා මං දැක්කා. නමුත් ආරක්ෂක අංශයේ කිසිම කෙනෙක් හිටියෙත් නැහැ. හොදටම වැස්ස නිසා මම මගේ බිරිඳත් එක්ක වාහනෙන් ආපහු එන්න පිටත් වුණා.
ඇත්තටම වාහනේ ඉස්සරහ තිබුණ කොලේ මොකද්ද කියලා මං බැලුවේ නැහැ. වැස්සත් එකක් හොදටම තෙමිලා තිබුණේ. මං බිරිඳට කිව්වා ඒක එතනින් අයින් කරන්න කියලා. ඊට ටික දවසකට පස්සේ ෆේස් බුක් එකේ මගේ මිතුරෙක් දාලා තිබුණා පෞද්ගලික රථවාහන ගාලක වාහනය නතර කරලා පසුව දඩ ගෙවන්න වුණ සිදුවීමක් ගැන පුවත්පතක පළ වුණ වාර්තාවක්. ඒ මගේ යාලුවටත් ඒ සිදුවීම වෙලා තිබුණා. ඒ වෙලාවේ තමයි මට එදා සිදුවීම මතක් වුණේ. මම මේ සිදුවීම හොයන්න පටන් ගත්තේ මැයි 10 වෙනිදා.
පස්සේ යාලුවගෙන් ඇහුව විස්තර එක්ක මගේ ජංගම දුරකතනයෙන් ඇප් එකක් අරගෙන ඒ තිබුණු දුරකතන අංකයකට කතා කරලා විස්තර අහද්දි ඒ අය කිව්වා දින 13 ක් ප්‍රමාදයි. ඒනිසා රුපියල් 13,000 කට වැඩ් ගණනක් ගෙවන් ඕනි කියලා. ඒ තරම් සල්ලි ගෙවන්න නැහැ කිව්වම ඒ අය දවස් දෙක තුනක් එහෙ මෙහෙ කරලා දෙන්නම් කියලා 10120 මුදලක් ගෙවන්න නැත්නම් නඩු දානවා කිව්වා. ඇත්තටම මං ඒ වෙලාවේ ඒ දඩ මුදල ගෙවන්න ගියේ මගේ බිරිඳගේ නමට තමයි වාහනය තියෙන්නේ.එයාට ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන නිසා.
මේ වගේ අය කිරීම් කරද්දි මීට වඩා දැනුවත් කිරීමක් අවශ්‍ය වෙනවා. ඒ අයගේ අවම දඩය වෙන්නේ රුපියල් 50,000 ක් .ඒ ප්‍රමාද ගාස්තුව එකතු වෙනකල් මේ අය වාහන හිමියට මේ සම්බන්ධයෙන් දැනුම් දීමක් කරන්නේ නැහැ. ඒ නිසා තමයි ගොඩක් අයට මේ විදියේ අසාධාරණ වැඩ වෙන්නේ.
මේ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කරනවානම් මෙවැනි දේවල් වෙන්නේ නැහැ. මම දඩ මුදල ගෙව්වා. නමුත් කොළඹ මහනගර සභාවට වගේම ජනාධිපති ලේකම් කාර්යාලයට දැනුම් දුන්නා. තවමත් මේ සම්බන්ධයෙන් කිසිම පියවරක් අරගෙන නැහැ. අසාධාරණ විදියට මේ වගේ දේවල් කරන්න හොද නැහැ කියන එකයි මගේ අදහස. මේ පුදගලයින්ගේ අරමුණ වෙන්න මුදල් එකතු කිරීම විතරයි . නැත්නම් දවසකට ඇයි මේ තරම් ලොකු මුදලක් අය කරන්නේ. බලධාරීන් මේ වගේ ක්‍රියා ගැන මීට වඩා හොයලා බලනවානම් හොඳයි කියලා තමයි මගේ නම් අදහස. ‘


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙවන්න එපා කොහොම හරි අඩු කරගන්න බලන්න.....
දියුණු රටවල තිබෙන තාක්ෂණය කවදානම් අපේ රටේ මිනිසුන් හුරුවෙයිද? මේ පිළිබඳ දැනුම මාධ්‍ය මගින් ජනතාවට ලබාදිය යුතුයි.
ඉතාම හොඳයි.. රටක් දියුණු වෙන්න නම් මේ වගේ ක්‍රම තියෙන්න ඕනෑ. මේ රට සිංගප්පුරුවක් කරන්න නම් කරන්න ඕනෑ පලවෙනි දේ නීතිය හරියට ක්‍රියාත්මක කරන එක. බලන්න කහ ඉර, කලර් ලයිට් තියෙද්දී මිනිස්සු කොච්චර ඔහේ වාහන අස්සෙන් පාර පනිනවද කියලා...
කපටි ආයතන සහ කපටි මිනිස්සු ......
මම උපාධිය කරද්දී නීතිය සම්බන්ධව සෙමෙස්ටර් 2ක විෂයයන් 3ක් ඉගෙන ගත්තා. මම දන්නා තරමින් එහෙම කරන්න කිසිම නීතිමය හැකියාවක් නැහැ. ලංකාවේ මිනිස්සු ගොඩක් නඩුවලට බය නිසා මේ වගේ ආයතන අහිංසක මිනිසුන්ව සූරාකනවා.
මේක ලොකු කෙනෙකුට වුනානම් බලන්න තිබ්බ දඩ අයකර ගන්න හැටි. මෙහෙමත් කරුම රටක්...
ඇත්තටම මේක මාෆියාවක්. මේ කරදරයට මම නිතර මුහුණ දුන් කෙනෙක්. මගේ හිතවතුන් දෙදෙනෙක් රු 7000 බැගින් ගෙව්වා. මම මගේ වාහනය බම්බලපිටිය අතුරු මාර්ගයක නවතා තබනවාට දිනකට රු 260 ගෙවන්න වෙනවා. මුදල් ගෙවිය යුත්තේ යන්ත්‍රයකට. ඒකේ රු 20 නෝට්ටු ගන්නේ නැහැ. අවම මුදල රු 30. කාසි ගන්නේත් නැහැ. යන්ත්‍රය අක්‍රීය වෙලා තිබ්බොත් මේ විදිහට දඩ කොලයක් දාලා යනවා. ඔක්කොටම වඩා පාරිභෝගික සේවාවට කතා කලාම නඩු දානවා කියලා මිනිස්සුන්ව බය කරනවා. ආණ්ඩුවත් එක්ක එකතු වෙලා මහ මග මිනිස්සුන්ව කොල්ල කන්නේ මෙන්න මෙහෙමයි..
ගෙවන්න එපා. පුලුවන්නම් නඩු දාන්න කියන්න. ඔවුන්ට නඩු දාන්න කිසිම නීතිමය බලයක් නෑ. උසාවියට ගියොත් ඔබ දිනුම්.
ඔබ ගෙවූ බදු මුදල නිසි ආකාරයෙන් අවුරුද්දේ අවසානයේ ගිණුම් තබා ඇත්ද බලන්න
මෙම යන්ත්‍ර වලට රැ 30/- ක් දාන්න බැහැ. 40/- ක් දාන්න ඕනේ. ඉතිරි 10/- ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට වැඩිපුර නවතා තබන්න පුළුවන්ලු. වාහන පැය ගණන් නවත්වනවානම් කමක් නැහැ. ඒත් වැඩිපුරම නවත්වන්නේ මිනිත්තු 10 ක් නැත්නම් 15 ක් විතරක් නිසා මේක පුදුම අසාධාරණයක්. බලධාරීන්ට ඒවා කියල වැඩක් නැහැ. ඒගොල්ලෝ තම නායකත්වය රැක ගන්නේ කොහොමද, වගේ වඩා වැදගත් දැවෙන ප්‍රශ්න විසඳා ගන්නකන් ඉවසන්න වේවි..!
මේක මංකොල්ලකෑමක්. ලෝකේ කොහෙවත්ම නැති නීතියක්.
මේක නම් මහා විහිළුවක් !
මේක මංකොල්ල කෑමක් නේ...
සත 5 ගෙවන්න එපා. වාහන පාක් කොරන්න තිබෙන තැන් ත්‍රීවීලර් කාරයෝ අරක් ගෙන අපට කාර් එකක් පාක් කරගන්න තැනක් නැත.
දැන් එතකොට මේ මහත්තයා ඔය රථ ගාලට වාහනය දානකොට ඒක නොමිලේ දෙන තැනක් කියලා හිතාගෙනද දාලා තියෙන්නේ?
වාහනයේ දැන්වීමක් තිබිලත් ඒක නොබලපු එක මොහුගේ වරද. මේක හරියට කඩේකින් කෑම කාල බිල ගෙවන්න කෙනෙක් නැහැ කියල පිට වෙලා යනවා වගෙයි.
කොළඹ අපි නිවෙස්වලටත් බදු ගෙවනවා. වාහන නවත්වන්නත් බදු ගෙවනවා. කුණු අරන් යන්නත් සේවකයින්ට සන්තෝසම් දෙනවා. නගරාධිපතිණියට වැසිකිළියට ලක්ෂ 57ක් දෙන්නත් ඕනේ. ඔය පාර්ක් එකේ ඊළඟ වාහනේ නැවත්තුවාම මේකේ දඩය නවතින්න ඕනේ නේද? නැත්නම් තාක්ෂණය පාවිච්චි කරලා මංකොල්ල කෑමක් නේද කරලා තියෙන්නේ...?