(අප්සරා යෝසිත් විජේසූරිය)
වෙසක් පොහොය දිනයට පසුදින රත්නපුර නගරය ඡායාරූප ගතකළේ යැයි කියමින් ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි තරුණයන් තිදෙනා නඩුවෙන් මුදා හැරීමට රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජනිතා රෝෂිනී පෙරේරා මහත්මිය අද නියෝග කළාය.
මහේස්ත්‍රාත්වරිය එම නියෝගය කළේ රත්නපුර පොලිසිය අද මෝසමක් මගින් නඩුව කැඳවූ අවස්ථාවේදීය.
මෙම තරුණයන් තිදෙනා ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධබවට විමර්ශනවලින් අනාවරණය නොවූ බව පොලිසිය දැනුම් දුන්නේය. ඒ අනුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ තවදුරටත් කටයුතු කරගෙන යාමට හැකියාවක් නැති බව පොලිසිය කීවේය.
තරුණයන් තිදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ගාමිණී රත්නායක, භාණු මුනිප්‍රිය, ප්‍රියංකා ගුණවර්ණසූරිය, කිත්සිරි අරඹේවත්ත, තරිඳු අරැව්වල සහ හංසිනී දෙල්ගොඩ යන නීතීඥ මහත්ම මහත්මීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම තරුණයන් තිදෙනාට එරෙහිව තවදුරටත් නඩු කටයුතු පවත්වාගෙන නොයන්නේ නම් ඔවුන් මුදා හරින ලෙසයි.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ තවදුරටත් නඩු කටයුතු පවත්වාගෙන නොයෑම හේතුවෙන් ඔවුන් නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. මෙම නඩුවට අදාළ කැමරා සම්බන්ධයෙන් රසපරීක්ෂක වාර්තා ලැබීමෙන් පසු නඩු භාණ්ඩ සම්බන්ධව සුදුසු පරිදි ඉදිරි නීතිමය පියවර ගැනීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
මෙම තරුණයන් පසුගිය සඳුදා (24) යළි රිමාන්ඩ් කිරීමෙන් පසු පළ වූ මාධ්‍ය වාර්තා සැලකිල්ලට ගෙන රත්නපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා රත්නපුර පොලිසියේ නිලධාරීන් ගෙන්වා විමර්ශන ගොනු පරීක්ෂා කර තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ තරුණයන්ට එරෙහිව සාක්ෂි නැති බවයි. ඒ අනුව වහාම ඉදිරි නීතිමය පියවර ගන්නා ලෙස පොලිස් අධිකාරීවරයා පොලිසියට උපදෙස් දීමෙන් පසු අද රත්නපුර පොලිසිය මෝසමක් මගින් නඩුව කැඳවා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නගරයක් ඡායාරුප ගත කරන්න පුලුවන්ද? ඩ්‍රෝනයකින් නම් පුළුවන්. අපිත් ඇවිදින්න ගියහම ඔය වැඩේ කරනවනේ. ලකුණු දාගන්න දඟලන කෙනෙක් අපිවත් රිමාන්ඩ් කරලා පස්සේ සාක්කි නෑ කියලා එලියට දමයි. ඒ ගැන තර්ක කරන්න ගියොත් කුඩු පැකට් එකකුත් එක්කම උසාවියට දමයි. සැකයක් යනු මෝඩ සැකයක් නොව 'සාධාරණ සැකයක්' වියයුතුයි.
දැන් ලංකාවෙ නගරයක පොටෝ එකක් ගත් පලියට අල්ලලා රිමාන්ඩ් කරනවද? සංචාරක විදේශිකයෙක් පොටෝ ගත්තොත් ඒත් අල්ලලා රිමාන්ඩ් කරනවද?