(අංජුල මහික වීරරත්න)

'ගමට සන්නිවේදනය ' ජාතික ව්‍යාපෘතිය වේගවත් කිරීමට ක්‍රියාමාර්ග ගැනීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

සන්නිවේදන පහසුකම් නොමැති ප්‍රදේශ හා අඩු සන්නිවේදන පහසුකම් සහිත ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශවල විදුලි සංදේශ සේවා වැඩිදියුණු කිරීම මඟින් ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි 4G පුළුල් පරාස සේවා පහසුකම් සැපයීම අරමුණු කරගත් ' ගමට සන්නිවේදනය ' ව්‍යාපෘතිය, 2004 අංක 11 දරන මුදල් පනතේ විධිවිධාන යටතේ 2021 වර්ෂයේ සිට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇත.

ජංගම දුරකථන සේවා සපයන සමාගම් සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන එකී ව්‍යාපෘතියේ ප්‍රධානතම ක්‍රියාකාරකම වශයෙන් පිරිවැය බෙදා ගැනීමේ ක්‍රම වේදයක් මඟින් සන්නිවේදන කුලුනු ඉදිකරනු ලබයි.

මේ වන විට එම ව්‍යාපෘතිය යටතේ සේවාදායක සමාගම් විසින් සන්නිවේදන කුලුනු 83 ක් ඉදි කර ජංගම සේවා පහසු කර්ම සපයනු ලැබ තිබේ. ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හේතුවෙන් සේවාදායක සමාගම් වල මෙහෙයුම් පිරිවැය ඉහළ යාම සහ ඇතැම් සන්නිවේදන කුලුනු මඟින් උත්පාදනය වන ආදායම ප්‍රමාණවත් නොවීම යන කරුණු මත අදාළ කුලුනු ඉදිකිරීමේ කටයුතු මන්දගාමී වී තිබේ.