(නිමල කොඩිතුවක්කු)

රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමටත්, ඒ මඟින් ප්‍රජාතන්ත්‍රවාදය හා මිනිස් අයිතිවාසිකම් රැකෙන ජාති ආගම් භේදයෙන් තොර සහෝදරත්වයෙන් ජීවත් විය හැකි, දූෂණය පිටු දකින අලූත් රටක් බිහි කිරීමට මෙය සුදුසුම අවස්ථාව බව සාධාරණ සමාජයක් සඳහා වන වන ජාතික ව්‍යාපාරයේ සභාපති කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

මිලියන 22 ක ජනතාවගෙන් එක් පුද්ගලයකුට බලය පැවරුණු 20 වැනි සංශෝධනය හා අසීමිත බලතල ඇති විධායක ජනාධිපති පදවිය වහා අහෝසි කර 19 වැනි සංශෝධනය බල ගන්වා පාර්ලිමේන්තුවේ බලය තහවුරු කළ යුතු බවත් ජයසූරිය මහතා සඳහන් කළේය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් කොළඹදී සංවිධානය කරන ලද සිවිල් සමාජ ක්‍රියාකාරීන් ගේ හමුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

"මහජන නියෝජිතයින්ට, සිවිල් සමාජයට මෙතෙක් කළ නොහැකි වූ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට, දූෂණයට, මර්දනයට, මිනිස් අයිතිවාසිකම් රැක ගැනීමට, යුක්තිය සාධාරණය රජයන සමාජයක් ඇති කරලීමට තරුණ පරපුර නායකත්වය ලබා දුන්නා.  අපි රජයට කියන්නේ මෙම තරුණ ජනතා පිබිදීම සුළුවෙන් තකන්න එපා. වැඩිහිටියන් වශයෙන් අපි මේ තරුණ ජවය දිරිමත් කළ යුතුයි.

සිවිල් සමාජය නියෝජනය කරමින් පැමිණ සිටින ඔබ අපට ද රට ගොඩනැගීම සඳහා විශාල කාර්යභාරයක් තිබෙනවා. 

රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමටත්, ඒ මඟින් ප්‍රජාතන්ත්‍රවාදය හා මිනිස් අයිතිවාසිකම් රැකෙන ජාති ආගම් භේදයෙන් තොර සහෝදරත්වයෙන් ජීවත් විය හැකි, දූෂණය පිටු දකින අලූත් රටක් බිහි කිරීමට මේ සුදුසුම අවස්ථාවයි. 20 වැනි සංශෝධනය හා අසීමිත බලතල ඇති විධායක ජනාධිපති පදවිය වහා අහෝසි කළ යුතුයි. 19 වැනි සංශෝධනය බල ගන්වා පාර්ලිමේන්තුවේ බලය තහවුරු කළ යුතුයි. සියලුම ස්වාධීන කොමිෂන් සභාවලට දේශපාලනයෙන් තොර පත්වීම් ලබාදිය යුතුයි. ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයේ නියෝජිතයින් ද ඇතුළත් විය යුතුයි. මෙම ප්‍රතිසංස්කරණ වහා ක්‍රියාත්මක කරන ලෙස අපි එක්ව රජයට බලකරමු.

මෙහිදී අපි පාර්ලිමේන්තුවට යෝජනා කරන්නේ පොදු එකඟත්වයෙන් මෙම සංශෝධන ගෙන එන ලෙසයි.එය ජනතා අරගලයට ගෞරවයක් වශයෙන් අපි දකිනවා