(සුජිත් හේවාජුලිගේ )

මෙරට නැව් හිමියන් (නැව් පතියන්) බවට පත්වී ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දායක වන්නැයි  වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විදේශයන්හි සිටින ධනපති ශ්‍රී ලාංකිකයන්ට විවෘත ආරාධනයක් කළේය.

එය හොඳ ආයෝජනයක් බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා නැව් සංස්ථාව සතුව දැනට ඇත්තේ නැව් දෙකක් පමණක් බවත් තවත් නැව් ගැනීමට මුදල් නොමැති බවත් අමාත්‍යවරයා කීවේය.

ශ්‍රී ලංකාවේ විවිධ පතියන් සිටියත් නැව් පතියන් නොමැති බව පැවසූ  නිමල් සිරිපාල ද සිල්වා මහතා  විදේශීය බැංකු වල මුදල් විශාල වශයෙන් තැන්පත් කරගෙන සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙය හොඳ අවස්ථාවක් බවද ප්‍රකාශ කළේය.

නැව් මෙන්ම බත්තල් වැනි යාත්‍රාද මිලදී ගෙන මෙරට නාවික ප්‍රවාහන කටයුතු සඳහා යෙදවිය හැකි බවත් එවැනි කටයුතු සඳහා රටේ ලොකු ඉල්ලුමක් පවතින බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.