(විනීතා එම්.ගමගේ)

 

විදේශ රැකියා ක්‍ෂෙත්‍රයේ ආදායම් ඉහළ නැංවීම  සඳහා තුන් අවුරුදු සැලැස්මක් සැකසීම සඳහා සය පුද්ගල කමිටුවක් පත් කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා පැවැසීය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ, බලපත්‍රලාභී රැකියා ලාභීන්ගේ හා විදේශ රැකියාවන්හි නිරත වන්නන්ගේ සුභසාධනය හා ආදායම් වැඩිකිරීම කෙරෙහි මෙම කමිටුව අවධානය යොමු කරනු ඇතැයි ද සභාපතිවරයා කීය.

ඉදිරි වසර තුනේ දී සාධනීය හා ඉලක්ක ගත සංවර්ධනයක් කරාගෙන යාමේ අරමුණින් මෙම පියවර ගත් බව කී රත්වත්තේ මහතා ඒ අනුව විදේශ රැකියා ක්‍ෂෙත්‍රය හා සම්බන්ධ සියලු පාර්ශවවල ආර්ථික හා සමාජ සංවර්ධනය උදෙසා මෙම සැලැස්ම ක්‍රියාත්මක කරන බව ද පැවසීය.

මෙම සය පුද්ගල කමිටුවේ සභාපතිවරයා ලෙස කාර්යංශයේ අධ්‍යක්ෂ ප්‍රදීප් නියදඬුපොළ මහතා කටයුතු කරන අතර නියෝජ්‍ය සාමාන්‍යධිකාරි මංගල රන්දෙණිය සහ කාර්යංශයේ නිලධාරින් වන මධුෂාන් කුලරත්,ධනුක සමරක්කොඩි, මංජුල බටගොඩ, ගිහාන් ධනුෂ්ක යන මහත්වරුද කටයුතු කරති.

මේ සඳහා මහජන අදහස් ලබාගැනීමට බලාපොරොත්තු වන බවත් ඒ අනුව විද්වත් වෘත්තිකයින් මාධ්‍යවේදීන් විගමණික ප්‍රජාව පර්යේෂකයින් ඇතුළු මහජන අදහස් ජුලි 15 දක්වා බාරගන්නා බවත් [email protected]යන විද්‍යුත් ලිපිනයට හෝ 0112864141 යන ෆැක්ස් අංකයට හෝ යෝජනා ලබා දිය  හැකි බවත් තැපෑලෙන් එවන්නේ නම් කමිටු සභාපති DRESSH ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කොස්වත්ත බත්තරමුල්ල යන ලිපිනයට එවිය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.