(අංජුල මහික වීරරත්න)

රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක  ‘Rebuilding Sri Lanka’   ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී හෙට(13) පැවැත්වේ.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ ව්‍යසනයට අදාළ පශ්චාත් ආපදා පුනරුත්ථාපන හා ප්‍රතිසාධන කටයුතුවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉහළ මට්ටමේ මනා සම්බන්ධීකරණයෙන් යුතු ජාතික ප්‍රතිසාධන යාන්ත්‍රණයක කඩිනම් සහ හදිසි අවශ්‍යතාව අනුව යමින් ‘Rebuilding Sri Lanka’ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

රට නැවත ගොඩනැඟීමේ වැඩසටහන මූල්‍යනය කිරීම මේ වන විට උපක්‍රමික ප්‍රවේශ  3ක් යටතේ සිදු කෙරෙමින් ඇත. එහිදී ප්‍රමුඛතා මත නැවත සකස් කිරීම (Re-purposing) යටතේ දැනට ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති අතරින් තෝරා ගත් ව්‍යාපෘතිවල අරමුණු වෙනස් කරමින් ක්‍රියාත්මක කිරීම,  නැවත ප්‍රතිපාදන වෙන් කිරීම (Re-allocating) යටතේ මූල්‍ය කළමනාකරණ පනතේ ඇති ප්‍රතිපාදන මත පදනම්ව අයවැයෙන් වෙන් වන ප්‍රතිපාදනවලට අමතරව අතිරේක මුදලක් වෙන් කිරීම, ඒ අනුව 2026 වසර සඳහා රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් සිදුකිරීම සහ ‘Rebuilding Sri Lanka’ අරමුදල මගින් දේශීය, විදේශීය සහ රාජ්‍ය, පෞද්ගලික පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය ලබා ගැනීම සිදුවේ.

මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යමින් ‘Rebuilding Sri Lanka’ සඳහා උපායමාර්ගික නායකත්වය, සම්බන්ධීකරණය, සංගත ප්‍රවේශය සහ අධීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිගේ සභාපතිත්වයෙන් යුතුව අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් පසුගියදා ජනාධිපතිවරයා විසින් ස්ථාපිත කළේය.

මෙමඟින් මූලික අවශ්‍යතා, සනීපාරක්ෂාව සහ සෞඛ්‍ය නැවත ස්ථාපිත කිරීම, මූලික යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම, ජීවනෝපාය සහ වත්කම් ප්‍රමාණවත් ලෙස ඉහළ නැංවීම, දේශීය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම, ඩිජිටල් දත්ත පද්ධති සහ තීරණ සහාය යාන්ත්‍රණය ස්ථාපිත කිරීම, සන්නිවේදනය සහ පාර්ශ්වකාර සම්බන්ධතා වැඩිදියුණු කිරීම යන නැවත ගොඩනැඟීමේ ක්‍රියාකාරකම්වලදී සමස්ත මඟ පෙන්වීම, උපාය මාර්ගික තීරණ ගැනීම, අන්තර් අමාත්‍යාංශ ගැටලු විසඳීම, ප්‍රධාන අරමුදල් සැපයීම ප්‍රතිසාධන සහ ප්‍රතිසංස්කරණවල තීරණ සඳහා මඟපෙන්වීම සිදු කරනු ඇත.