(අංජුල මහික වීරරත්න)

2026 පළාත් පාලන සතිය නිමිත්තෙන්  රට පුරා වැඩසටහන් 4,000කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීම සඳහා වැඩ සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.

සැප්තැම්බර් 14 සඳුදා සිට 19 සිකුරාදා දක්වා මෙම වැඩ සතිය ප්‍රකාශයට පත් කර ඇත.

දිවයින පුරා පළාත් පාලන ආයතන මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත "පුනරුදයේ පුරවර" - 2026 පළාත් පාලන සතිය ප්‍රකාශයට පත් කිරීම පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැත්විණි.

"පුනරුද පුරවරයක් බිහි කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන් සමුදාය සමඟ අත්වැල් බැඳගන්නා ලෙස සියලුම පළාත් පාලන ආයතන-වලට ගෞරවයෙන් ආරාධනා කරන බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා මෙහිදී කීය.

"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති මාලාව අනුව යමින්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය ක්‍රියාත්මක කරනු ලබන "පුනරුදයේ පුරවර" ජාතික වැඩසටහන යටතේ, පළාත් පාලන ආයතනවල නව පාලන අධිකාරියන් ද සමඟින් ප්‍රථම වරට පළාත් පාලන සතිය පසුගිය වසරේ දී  පැවැත්වූ අතර මෙවර ද තවත් සංවිධානාත්මකව, ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් ගණන ද ඉහළ නංවමින් මහජනතාවට වඩා වැඩි ප්‍රතිලාභ ලැබෙන අයුරින් ක්‍රියාවට නැගීමට සියලු කටයුතු සැලසුම් කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.