(විමුක්ති එස් රුද්‍රිගු)

රත්තරන් උකසට තබා ණය ලබා ගැනීමේදී ඒ සඳහා ලබාදෙන උපරිම ණය සීමාව සහ වාහනයක් මිලට ගැනීමට ණය පහසුකමක් ලබා ගැනීමේදී ඒ සඳහා ලබාදෙන උපරිම ණය සීමාව අඩු කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ඒ අනුව රත්තරන් භාණ්ඩයක් උකස් කර ණය ලබා ගැනීමේදී ඒ සඳහා ලබාදිය හැකි උපරිම ණය සීමාව භාණ්ඩයේ වටිනාකමෙන් සියයට 70 කට සීමා කර තිබෙන බව එම නිවේදනයේ දැක්වේ.

එසේම වාණිජ වාහනයන් මිලට ගැනීමට ණය පහසුකමක් ලබා ගැනීමේදී ඒ සඳහා ලබා දිය හැකි උපරිම ණය සීමාව වාහනයේ වටිනාකමින් සියයට 60 කට සීමා කර ඇත.

මෝටර් රථ, එස්.යූ.වී, වෑන් සහ ත්‍රී රෝද රථ ඇතුළු පුද්ගලික වාහන මිලට ගැනීම සඳහා ණය පහසුකමක් ලබා ගැනීමේදී ඒ සඳහා ලබා දිය හැකි උපරිම ණය සීමාව සියයට 40 කට සීමා කර තිබේ.

වත්මන් ගෝලීය අවිනිශ්චිතතා හමුවේ මෙරට මූල්‍ය පද්ධතියට එල්ල විය හැකි අවධානම් අඩු කිරීමටත්, වාණිජ බැංකු, මූල්‍ය ආයතන සහ ණය දෙන සමාගම් ආරක්ෂා කිරීමටත් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම තීරණයට එළඹ ඇති අතර එය අද (25) සිට බලාත්මක වේ.