(අංජුල මහික වීරරත්න)      

අලුත් රාජ්‍ය අමාත්‍යවරුන් රටට බරක් නොවේ යැයි ඔවුන්  සියලු දෙනා වැඩ කරන්නේ කිසිඳු වරප්‍රසාදයකින් තොරව යැයිද ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

දැනට පත් කර ඇත්තේ කැබිනට්  අමාත්‍යවරුන් 20 දෙනකු පමණක් බවද ඒ ප්‍රමාණයෙන්  ආයතන පවත්වාගෙන යාමට අපහසු බවද අමාත්‍යවරයා කීය.

 උදාහරණයක් ලෙස තම අමාත්‍යාංශයේ  ආයතන 35ක් තිබෙන අතර තමාට තනියම වැඩ කරන්න අමාරු බවද  රාජ්‍ය අමාත්‍යවරුන් පත් කළ විට ඔවුන්ට ඒ ආයතන පවරා දිය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරුන්  සියලු දෙනා වැඩ කරන්නේ මන්ත්‍රී වැටුපට නිසා ඔවුන්  රජයට ලොකු බරක් වෙන්නේ නැතැයි ද  පසුගිය ආණ්ඩුව කාලේ  ඇමතිවරුන්ට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් 88 දෙනකු සිටි අතර ඔවුන් සැමට අමාත්‍යවරුන්ට හිමිවන සියලු වරප්‍රසාද ලබා දුන් බවද ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

කොළඹදී මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග ‍ මේ බව පැවසීය.