(විමුක්ති එස් රුද්‍රිගු)

අනුරාධපුර සිට බෙලිඅත්ත බලා ධාවනය වන රජරට රැජින සීඝ්‍ර ගාමි දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී පීලි පැනීමට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවත් මගීන් දැඩි ලෙස අපහසුතාවයට පත්ව ඇති බවත් වාර්තා වේ.

මේ වනවිට උදෑසන 6.20 ට මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වන සීඝ්‍රගාමි දුම්රිය ද අධික මගීන් ධාරිතාවක් සහිතව පැය 1 මිනිත්තු 30 ක ප්‍රමාදයකින් යුක්තව ධාවනය වෙමින් පවතින බවත්, දුම්රිය අතරමග නවත්වමින් ධාවන වෙමින් පවතින බවත් වාර්තා වේ.

 රජරට රැජින දුම්රියේ පීලි පැනීම සහ දුම්රිය ප්‍රමාදය පිළිබද 1971 ක්ෂණික ඇමතුම් අංකයට ලංකාදීපය දුරකතන ඇමතුමක් ලබා ගත් විට එහි නිලධාරීන් අපව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනා ගමන) සෙනෙවිරත්න මහතා වෙත යොමුකළ අතර,ඉන් පසු සෙනවිරත්න මහතා කාර්යාලයේ නොසිටි බැවින් එම කාර්යාලය නැවතත් 1971 ක්ෂණික දුරකථන ඇමතුම් අංකය වෙත අප යොමු කරන ලදි.

නැවතත් අප සාමාන්‍යාධිකාරී කාර්යාලය වෙත යොමු කෙරුණු අතර එහිදී කළ විමසීමකදී පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි වුවත් දුම්රිය ධාවනයට එයින්  විශාල බලපෑමක් එල්ල නොවන බව දුම්රිය සාමාන්‍යාධිකාරි කාර්යාලයේ නම සඳහන් කිරීමට අකමැති නිලධාරියෙක් පැවසීය.