(නිමන්ති රණසිංහ)

ආගමික සහජීවනයට සහ ජාතික සහිඳියාවට බාධා වන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රාජාංගනයේ සද්ධාරතන හිමියන්ගේ බැංකු ගිණුම් තුනක රුපියල් කෝටි 6කට අධික මුදලක් තැන්පත්ව තිබූ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ අද (07) කරුණු වාර්තා කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්. කේ. සේනාරත්න මහතා අධිකරණයට වැඩිදුර බී වාර්තාවක් ඉදිරිපත් කරමින් සදහන් කර සිටියේ මෙම හිමිනම සම්බන්ධයෙන් අධිකරණ නියෝග ප්‍රකාරව බැංකු ගිණුම් 12ක් පරීක්ෂාවට ලක් කළ බවත් ඉන් තුනක වාර්තා ලැබී තිබූ බවත්ය.

මෙම ස්වාමින් වහන්සේ මින් ඉහතදී සිදුකර ඇති ප්‍රකාශයන් හේතුවෙන් ජනතාව අතර අසමගියක් සිදුව ඇති බවත් ඒ නිසාම ඇතැම් ප්‍රදේශ උන්වහන්සේට තහනම් කලාප කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

සැකකාර ස්වාමින් වහන්සේ කරන මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන අවසන්ව නොමැති අතර, මේ පිටුපස යම් සංවිධානාත්මක පිරිසක් ක්‍රියාත්මක වනවාද යන්න පිළිබදවද විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.

සැකකාර හිමිනම වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ නිතීඥවරයා සදහන් කර සිටියේ තම සේවාදායක හිමියන් දානශාලාවක් විහාර ගෙයක් ගොඩනගා ඇති අතර, දරුවන් 342ක් රඳවා සිටින දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇති බවත් උන්වහන්සේගේ විහාරස්ථානය පිහිටි ගම්මානයේ අවමංගල්‍යයක් සිදුවුවහොත් ඒ නිවසකට රුපියල් හැත්තෑදහසක මුදලක් ලබා දෙන බවත්ය. මෙම හිමියන්ගේ ගිණුම්වලට මේ පුන්‍ය කටයුතු සිදුකිරීම සදහා එංගලන්තයේ ජීවත්වන දායකයෙක් මෙම මුදල් ලබා දී ඇති බවද නිතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව උන්වහන්සේට නගා ඇති චෝදනාව වූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත උල්ලංඝණය කිරීමක් මෙම ප්‍රකාශවලින් සිදුවී නැති ඇති අතර මෙම පනතින් උන්වහන්සේට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකළ නොහැකි බව ද නිතීඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.