
යේමනයේ ඒඩන් නුවර අල්-මාෂික් ජනාධිපති මන්දිරයට හූති ෂියා මුස්ලිම් සටන්කාමීහු මිසයිල ප්රහාරයක් එල්ල කළහ. එම මිසයිල ප්රහාරයෙන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 16 ක් බව යේමන රජය පවසයි.
යේමනයේ සිවිල් යුද්ධයක් පවතී. ජාත්යන්තරව පිළිගත් යේමන රජය වන්නේ, ජනාධිපති රෂාඩ් අල්-අලිමිගේ නායකත්වයෙන් පිහිටුවා ඇති රජයයි. මෙම රජය සුන්නි මුස්ලිම්ය. ලෝකයේ ප්රධාන සුන්නි මුස්ලිම් රාජ්යයක් වන සෞදි අරාබියේ සහාය මෙන්ම අනුග්රහය ද අල්-අලිමිගේ රජයට හිමිවෙයි.
යේමන රජයට එරෙහිව සටන් වදින කණ්ඩායම හූතිවරුන් වන අතර මොවුන් ෂියා මුස්ලිම්ය. ලොව ප්රධාන ෂියා මුස්ලිම් රාජ්යය වන ඉරානයේ සහාය මෙන්ම අනුග්රහය ද හූතිවරුන්ට හිමිවන්නේ එබැවිනි. කෙසේ නමුත් මේ වනවිට, තමන් කිසිදු ආකාරයකින් හූතිවරුන්ට සහාය නොදෙන බවට ඉරානය ප්රතිඥා දී ඇත. ඉරාන විදේශ ඇමැතිවරයා සහ සෞදි රජය අතරේ ද මේ සම්බන්ධයෙන් පසුගිය දා සාකච්ඡා පැවැත්විණි.
හූතිවරුන්ට නායකත්වය දෙන්නේ, මහදි අල්-මෂාත් ය. හූති කැරළිකරුවන් උත්තරීතර දේශපාලන මණ්ඩලයක් පිහිටුවා ඇත. යේමනයේ පාලක මණ්ඩලය ලෙස යූතිවරුන් පිළිගන්නේ මෙයයි. යේමනයේ අගනුවර සනා ද ඇතුළු රටේ වැඩි ප්රදේශයක් (උතුරු සහ බටහිර ප්රදේශ) පාලනය කරන්නේ හූතිවරුන්ය.
එබැවින් යේමනය තුළ සිටිමින් අභ්යන්තර බලය ක්රියාත්මක කරන ප්රධානියා ලෙස හූති නායකත්වය සැලකෙයි. ඒඩන් නුවර තවමත් බලය ඇත්තේ රෂාඩ් අල්-අලිමි සහ ඔහුගේ රජයටය. ඒඩන් නුවර තාවකාලිකව යේමනයේ අගනුවර ලෙස ද නම් කර ඇත. අල් මාෂික් ජනාධිපති මන්දිරය ඇත්තේ ද ඒඩන් නුවරය.
අල්-මාෂික් ජනාධිපති මන්දිරයේ රැඳී සිටින්නේ යේමන අග්රාමාත්යවරයාය. යේමනයේ අග්රාමාත්යවරයා ලෙස කටයුතු කරන්නේ ෂයා අල් සින්දනි ය. මිසයිල ප්රහාරයෙන් ඔහුට කිසිදු අනතුරක් සිදු නොවුණු බව පැවැසෙයි.
එසේ වුවත් අග්රාමාත්යවරයාගේ ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනකු ද ප්රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූහ. ජීවිතක්ෂයට පත්වුණු සහ තුවාල ලැබූ සෙසු පිරිස අතරේ ජනපති මන්දිරයේ ආරක්ෂක නිලධාරීන් සහ කාර්ය මණ්ඩල සාමාජියන් සිටින බව පැවැසෙයි.
හූති සටන්කාමීන් (අන්සාර් අල්ලාහ් සංවිධානය) යේමන රජයට පමණක් නොව, සෞදි අරාබියට එරෙහිව සටන් වදින්නේ දශක ගණනක් තිස්සේ ඔඩුදුවා ඇති දේශපාලන, ආගමික, භූ-දේශපාලනික ගැටුමක ප්රතිඵලයක් ලෙසය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd