(එම්. කේ .නන්දසේන)

අයහපත් කාලගුණය හේතුවෙන් පසුගියදා වසා තැබුණු යාල පලටුපාන ප්‍රධාන පිවිසුම් දොරටුව යලි විවෘත කල බව ඌව කලාපය භාර වනජීවි සහකාර අධ්‍යක්ෂ උපුල් ඉන්ද්‍රජිත් මහතා පැවසීය.

මාස හතරකට අධික කාලයක් අඛණ්ඩව ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් වෙහෙරගල ජලාශය වාන් දොරටු විවෘත කිරීම නිසා මැණික් ගඟ පිටාර ගැලීමත්, උද්‍යානය තුළ ඇති සියලු වැව් ජලකඩිති පිරී පිටාර ගැලීමත් හේතුවෙන් මාර්ග පද්ධතිය යටවී ඛාදනයට ලක්වීමත් සමග පලටුපාන ප්‍රධාන පිවිසුම් දොරටුව පාලන අධිකාරිය විසින් වසා දමා තිබිණ. 

මේ නිසා වනජීවී නිලධාරීන් සමඟ යුද හමුදාව ඒකාබද්ධව ප්‍රධාන මාර්ග පද්ධතිය මේ වනවිට පිළිසකර කොට ඇති අතර අතුරු මාර්ගද පිළිසකර කරමින් සිටින බව කියයි. උද්‍යානය තුළ ඇති නිවාඩු නිකේතන හතද යලි යථාතත්වය පත්කොට ඇති බවද උද්‍යාන භාර නිලධාරී මනෝජ් විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළේය.