(අංජුල මහික වීරරත්න)

මේ වසරේ යල කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික්ටොන් 15,000ක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සේවා කාරක සභා මඟින් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2026 යල කන්නයේදී කුඹුරු ඉඩම් හෙක්ටයාර 550,000ක් වගා කරනු ඇතැයි ඇස්තමේන්තු කර තිබුණ ද, එම ප්‍රමාණය හෙක්ටයාර 450,000 - 500,000 ක් පමණ වනු ඇතැයි මේ වන විට ඇස්තමේන්තු කර ඇත. 

ඒ සඳහා යූරියා පොහොර මෙට්‍රික්ටොන් 75,000ක් පමණ අවශ්‍ය වන බව ගණනය කරනු ලැබ තිබේ. රටේ පැවති පොහොර සංචිත වලින් මේ වන විට මෙට්‍රික්ටොන් 48,297.87 ක් ගොවිජන සේවා කාරක සභා මඟින් මිල දී ගෙන බෙදා හරිමින් පවතී. 2026 යල කන්නය සඳහා ස්ථාවර මිලකට පොහොර සැපයීම තහවුරු කිරීම සඳහා කිලෝග්‍රෑම් 50 ක යූරියා පොහොර මිටියක් රුපියල් 10,200 ක මිලකට ගොවීන් වෙත ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් ලබා දීම සඳහා අප්‍රේල්  6 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. 

ඒ අනුව, 2026 යල කන්නය සඳහා තවදුරටත් අවශ්‍ය වන යූරියා පොහොර මෙට්‍රික්ටොන් 15,000ක් ගොවිජන සේවා කාරක සභා මඟින් මිල දී ගෙන ගොවීන් වෙත සැපයීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩර්ම සහ වාරිමාර්ග අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.