කටුනායක ගුවන් තොටුපොළෙන් යන එන සියලුම යානා ගුවන් හමුදාවේ විශේෂ කණ්ඩායමක් අද සිට පරීක්ෂාවට ලක් කරයි. එම අභ්‍යාසය සාර්ථකව සිදුවේදැයි සොයා බැලීමට ගුවන් හමුදාපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතා ගුවන් තොටුපොළට ගොස් සිටි. බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර ත්‍රස්තවාදි බෝම්බ ප්‍රහාරයන් පසු ලොව බොහෝ ගුවන් තොටුපොළවල ආරක්ෂාව තර කැරිණි. කටුනායක ගොඩබාන ගුවන් යානයක මගීන් බැස ගිය පසු ගුවන් හමුදා විශේෂ කණ්ඩායම් එම යානය පරීක්ෂා කරයි. එතෙර සිට කටුනායකට එන මගීන් පරීක්ෂා කිරීමද තරකර ඇතැයි ගුවන් තොට ආරංචි කියයි.

ගුවන්තොට පර්යන්තයේ සියලු ගොඩනැගිලිවල අතිරේක මුර සංචාර පවත්වන බවත් 24 පැයේම මෙම ආරක්ෂාව පවත්වාගෙන යන බවත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියයි.

මේ අතර මාලදිවයිනේ 35 - 40ක් පමණ සිරියාවට ගොස් ඇතැයිද ඔවුන් එහි අයිඑස් සංවිධානය හා සබඳකම් පවත්වන බවට තොරතුරු ඇතැයි ද මාලදිවයින් ආරංචි කියයි. මාලදිවයින් රජයේ එම තොරතුරු නිවැරදි නොවන බව මාලදිවයින් විපක්ෂය පවසයි. අඩු ගණනේ 200ක් වත් සිරියාව ඇතුළු මැදපෙරදිගට ගොස් ඇති බව එරට විපක්ෂය සඳහන් කරයි. 

මාලදිවයින් වැසියන් බොහෝ විට කටුනායක ඔස්සේ සිරියාවටත් මැද පෙරදිග සෙසු රටවලටත් යතියි කියති. තම ගමනේ අරමුණ පැහැදිලිව හා ඒත්තු ගැන්වෙන ලෙස ප්‍රකාශ කිරීමට අපොහොසත් වූ මාලදිවයින් වැසියන් කිහිප දෙනකුම කටුනායකින් ආපසු හරවා යවා ඇති බවද දැනගන්නට ඇත.

20160325_131444katunayake 20160325_131458katunayake 20160325_131626katunayake

20160325_135640gagan 20160325_140218gagan