(සමන් පාලිත නානායක්කාර) 

රියදුරු බලපත්‍ර රහිතව යතුරුපැදියක් පදවා   රිය අනතුරක් සිදු කළ බව කියන දාහත් හැවිරිදි පාසල් සිසුවකු  අද  22 බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ විට මෙම මස 29 වැනි දින දක්වා  රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන මහතා නියම කෙළේය. 

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත වූවේ බණ්ඩාරවෙල විශාකා මාවත පදිංචිව සිටින දාහත් හැවිරිදි පාසල් සිසුවෙකි.

බණ්ඩාරවෙල  නගරයේදී මොහු පැදවූ යතුරුපැදිය තවත් යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුවී ඇති අතර අනෙක්  යතුරු පැදියේ ගමන් කළ කාන්තාවක් තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.

පියා  භාරයේ තිබෙන යතුරුපැදිය බලපත්‍ර නොමැතිව තම පුතුට ලබාදීම වෙනුවෙන් පියාට ද නඩු පැවරීමට කටයුතු කරන බව බණ්ඩාරවෙල කොට්ඨාස පොලිස් අධිකාරී ඩී.  එම්. දසනායක මහතා පැවසීය. 

බලපත්‍ර නොමැතිව යතුරුපැදියක් ධාවනය කර අනතුරක් සිදු කිරීමේ චෝදනාව  යටතේ මෙම පාසල් සිසුවා බණ්ඩාරවෙල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ එම් නිහාල්  මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. 

බණ්ඩාරවෙල  කොට්ඨාස පොලිස් අධිකාරී ඩී එම්  දසනායක මහතාගේ උපදෙස් ඇතිව බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ එම් නිහාල්  මහතා වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.