( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

කෙරවලපිටිය යුගදනව් බලාගාරයේ රජය සතු කොටස්වලින් සියයට හතළිහක් අමෙරිකානු සමාගමක් වෙත පැවරූ ගිවිසුම බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ යන  මහත්වරු  ගොනු කල රිට් පෙත්සම ලබන වසරේ  පෙබරවාරි මස 01 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද ( 22) තීරණය කළේය.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල  හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබිණි.

එහිදී පෙත්සමෙහි වග උත්තරකාර වෙස්ට් කෝස්ට් පවර් පෞද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ  සංජීව ජයවර්ධන මහතා සදහන් කලේ මෙම පෙත්සමට මුල් වූ කරුණු සම්බන්ධයෙන්ම  මූලික අයිතිවාසිකම් පෙත්සම් 4ක්  මේ වන විට ඉදිරිපත් කර තිබෙන බවය.

මෙහි පෙත්සම්කරුවකු වන වසන්ත  සමරසිංහ  මහතා විසින් ද එක්  මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙන  බව සදහන් කල ජනාධිපති නීතීඥවරයා පෙන්වා  දුන්නේ එම මූලික අයිතිවාසිකම් පෙත්සම්  මෙම  26වැනිදා කැඳවීමට තීරණය කර තිබෙන බවය.

එම පෙත්සම්  පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවන ලෙස  නීතිපතිවරයා  අධිකරණයෙන් ඉල්ලා ඇති බවද ඒ මහතා  කීය.

එසේ තිබියදී  එම පෙත්සම්කරුවකුම මෙම අධිකරණයට  පැමිණ  සහන  ඉල්ලා  සිටින මෙබදු  පෙත්සම්  දිරිමත් නොකල යුතු බව ඒ මහතා  පෙන්වා දුන්නේ ය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා සදහන් කලේ එම පෙත්සම් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීම සම්බන්ධයෙන්  ශ්‍රේෂ්ඨාධිකරණයට   ඉදිරිපත් කර ඇති අතර  මෙම පෙත්සම්  වග උත්තර කරුවන්ගේ ක්‍රියා  සම්බන්ධයෙන්  ගොනු කර ඇති බවය.

කෙසේ වුවද මෙම  පෙත්සමට අදාළව  ලියකියවිලි  කිහිපයක් ඉදිරිපත් කිරීමට  අවශ්‍ය  බැවින්  ඊට අවසර දෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

කරුණු සලකා බැලූ අධිකරණය එම ලියකියවිලි  සති හතරකදී ගොනු කරන ලෙස නියම කලේය.

 මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් , වේස්ට් කෝස්ට් පවර් පෞද්ගලික සමාගම , ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි පිහිටි නිව් ෆෝට්‍රස් සමාගම , ලංකා විදුලි බල මණ්ඩලය , ලක්දනවි සමාගම , මහජන උපයෝගිතා කොමිසම , එහි සභාපති ඇතුළු සාමාජිකයින් ,මුදල් අමාත්‍යාංශ ලේකම් , ලංකා ඛනිජ තෙල් සංස්ථාව , ශ්‍රී ලංකා මහ බැංකු මූල්‍ය මණ්ඩලය  ඇතුළු 43 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

අදාළ ගිවිසුමට එළඹීමේ දී රජය විසින් අනුගමනය කළ ක්‍රියා පිළිවෙත  විනිවිදභාවයකින් තොරව වන අතර එවැනි  තීරණය ගැනීමට පෙර ජාතික ආර්ථිකය හා ජාතික ආරක්ෂාව වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට වග උත්තරකාර අමාත්‍ය මණ්ඩලය අසමත් වී ඇති බවට පෙත්සම් කරුවෝ චෝදනා කරති.

එබැවින් අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක වීම වළකාලන අතුරු නියෝගයක්  හා එම තීරණය බලශූන්‍ය කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද  පෙත්සම් කරු වෝ ඉල්ලා සිටිති.

නීතීඥ සුනිල් වටගල මහතාගේ  උපදෙස් මත නීතිඥ  ශාන්ත ජයවර්ධන මහතා  පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා වේස්ට් කෝස්ට් පවර් පෞද්ගලික සමාගම වෙනුවෙන් ද ජනාධිපති නීතීඥ පාලිත කුමාරසිංහ මහතා ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් ද පෙනී සිටියහ.