(යොහාන් භාසුර)

කවර බලපෑම් හමුවේ වුවත් ‘යුක්තිය මෙහෙයුම’ නතර නොකරන ලෙස මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට අනුශාසනා කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය පැවසීය.
මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් ඇතුළු අපරාධ මැඩලීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ මග පෙන්වීම සහ උපදෙස් අනුව ක්‍රියාත්මක ‘යුක්තිය මෙහෙයුම’ ආරම්භ කර මසක් සපිරීම නිමිත්තෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ආගමික වතාවත්වලට එක්වීමෙන් අනතුරුව අස්ගිරි සහ මල්වතු මහා විහාරවාසී මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේදී මහානාහිමිවරු එසේ අනුශාසනා කළහ.
මල්වතු මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි, මල්වතු අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී  විමලධම්ම නාහිමි, මල්වතු අනුනායක නියංගොඩ ශ්‍රී විජිත සිරි නාහිමි , අස්ගිරි මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි,  අස්ගිරි අනුනායක වේඬරුවේ ශ්‍රී උපාලි නාහිමි, අස්ගිරි අනුනායක ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමි  සහ අස්ගිරි නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ශ්‍රී ආනන්ද නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත් අමාත්‍යවරයා  නායක ස්වාමීන් වහන්සේලා ‘යුක්තිය මෙහෙයුම’ පිළිබඳව කරුණු පැහැදිළි කළේය.
එහිදී අමතරවරයා වෙත ආශිර්වාද කරමින් මල්වතු මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියෝ මෙලෙස අනුශාසනා කළහ.
”මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඔබතුමා මේ රටේ ආරක්ෂක අංශයේ විශාල පරිවර්තනයක් කළා. තවදුරටත් එය සිදු කෙරෙමින් පවතිනවා. එය රටට විශාල ආශිර්වාදයක්. ඩුබායි වැනි රටවල සිට  මෙහෙයවන මෙරට ඝාතන ඇතුළු පාතාල ක්‍රියාකාරකම් මර්දනය කවුරුන් විසින් හෝ මූලික වී සිදු කළ යුතුයි. ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු සියලූම දෙනා ඒ වෙනුවෙන් කැපවී සිටියත් ඒ සඳහා ශක්තිමත් මග පෙන්වන්නෙකු සිටිය යුතුයි. මීට පෙර මෙවැනි මෙහෙයුමක් සිදු නොවූයේ එවැනි නායකත්වයක් නොතිබීම හේතුවෙන්. පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ එලෙසින් දිරිමත් කොට ශක්තිමත් කිරීම ඉතාමත් වැදගත්”