(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

ගෘහ භාණ්ඩ ලබා දෙන බව පවසා අන්තර්ජාලයේ දැන්වීම් පළකර මාර්ග ගත ක්‍රමවේදයේ ඔස්සේ දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටියකට අධික මුදලක්  සංවිධානාත්මකව වංචා කළ    කාන්තාවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත( දකුණ) දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.

එම සැකකාරියන් අතර එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් සහ ඔවුන්ගේ නෑනාද වන බව පොලිසියය කියයි.

 එම සැකකාරියන් සන්තකයේ තිබී එම අපරාධයන් සිදුකිරීම සඳහා භාවිතා කරන ලද ජංගම දුරකථනයක්, පෞද්ගලික බැංකු වල වීසා කාඩ් පත් දෙකක් හා වංචා කළ මුදලින් රුපියල් 87000 ක් පොලිසිය මගින් සොයාගෙන ඇත.

මේ ආකාරයෙන් ගෘහ භාණ්ඩ ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබාගෙන ගෘහ භාණ්ඩ හෝ මුදල් ලබා නොදීම සම්බන්ධයෙන් ඉකුත් වසරේ දෙසැම්බර් මස 18 වෙනිදින  මිරිහාන මූලස්ථාන පොලිසියට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන්  බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඒකක (4) ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉසුරු ශාමික නිලධාරියා විසින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව එම අපරාධය සිදුකළ මෙම සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇත.