(ගයාන් සූරියආරච්චි)

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයත් එම බන්ධනාගාරය හිස් කර එහි රදවා සිටින රැදවියන් 500 කට ආසන්න පිරිසක් ගාල්ල ප්‍රදේශයේ වසා දමා ඇති මහ මෝදර රෝහලට රැගෙන යාමට සැලසුම් කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.

බන්ධනාගාරයේ රූපවාහිනී පද්ධතිය, බෙහෙත් ගබඩාව, සිරැරු ස්කෑනර් යන්ත්‍රය, සී.සී.ටී.වී පද්ධතිය, කාර්යාල සහ මූලික ගබඩාව ඇතුළු බන්ධනාගාරයේ ප්‍රධාන ස්ථාන රැසක් රැදවියන් විනාශ කර ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් කෝටි 10 කට වැඩි බව බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

රැදවියන් විවිධ බන්ධනාගාරවලට රැගෙනයාම සදහා බන්ධනාගාර බස්රථවලට නංවාගැනීමෙන් අනතුරුව නැවත පිරිසක් බස්රථය ඇතුළත නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් එම පිරිස නැවත වෙනත් බස් රථයකට මාරු කිරීමටද කටයුතු කර තිබූ බව පැවැසේ.

බන්ධනාගාරයේ සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වය ඇති කළ බව කියන සංවිධානාත්මක හා පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ සමීපතමයකු ඇතුළු දරුණු ගණයේ රැදවියන් 13 දෙනකු සහ සාමාන්‍ය රැදවියන් 55 දෙනකු පෙරේදා (6) රාත්‍රී බූස්ස බන්ධනාගාරය වෙත යවා තිබූ බව බන්ධනාගාර උසස් නිලධාරියෙක් පැවැසීය.