(අංජුල මහික වීරරත්න)

කෘෂිකර්ම සහ කර්මාන්ත අංශ වල තරුණ ව්‍යවසායකයන් වෙනුවෙන් දෙන අඩු පොලී බැංකු ණය පහසුකම් තවදුරටත් ප්‍රවර්ධනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන්නේය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය ප්‍රතිපාදන අවශ්‍යතාව පිළිබඳ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව කීය.

ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාව පැවැත්විණි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ජාතික පසු අස්වනු කළමණාකරණ ආයතනය ඇතුළු ආයතන මගින් 2026 වසරට අදාළව ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙහිදී වෙන් වෙන්ව විමසා බැලුණු අතර කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව මත ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු ආයතන පිළිබඳවද අවධානය යොමු විය.

එක් එක් ආයතන, දෙපාර්තමේන්තු සහ පළාත් පාලන ආයතන මගින් නඩත්තු කරන සියලු වාරි ව්‍යාපෘති දිස්ත්‍රික් මට්ටමින් ස්ථාපිත කරන ලද එක් ඒකකයක් මගින් නියාමනය කිරීමටත්, දිවයින පුරා සිදු කෙරෙන වාරි ප්‍රතිසංස්කරණ සිතියම්ගත කිරීමටත් ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

මේ වන විට විවිධ අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වන ව්‍යාප්ත සේවාවන් ඒකාබද්ධව සහ විධිමත්ව පවත්වාගෙන යාමට අදාළ යෝජනා පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත්, පළාත් සභා සහ මධ්‍යම රජය අතර බාධාවකින් තොරව ක්‍රියාත්මක වීම සඳහා ඒ ඒ විෂයන් සම්බන්ධ වෙන වෙනම සාකච්ඡා පැවැත්වීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම අපනයන කෘෂි බෝග ප්‍රවර්ධනය සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ඉහළ නංවා ගැනීම සඳහා නව යෝජනා සහ ව්‍යාපෘති ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. පසුගිය කාලය තුළ විදේශ ණය ආධාර යටතේ ආරම්භ කළ ව්‍යාපෘතිවල අවශ්‍යතාව මෙහිදී සමාලෝචනය කෙරුණු අතර ඒවා නිම කළයුතු කාලසීමාව ඉක්මවා ඇති බැවින් එම ව්‍යාපෘතිවල වැඩ කඩිනමින් අවසන් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දෙන ලදී. එමෙන්ම, ඉදිරියේදී විදේශ ණය යටතේ ආරම්භ කරන කිසිදු ව්‍යාපෘතියක් අවසාන ප්‍රතිඵලය පිළිබඳ අවබෝධයකින් තොරව අනුමත නොකළ යුතු බවද අවධාරණය කළේය.