(නදීෂානි බණ්ඩාර)

මීගමුව, බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ (බන්ධ පොලිස්) නිලධාරින් දහයක් සහ රැඳවියන්  21 ක් ඇතුළු 32 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අලුතින් සැකකරුවන් 17 දෙකු නම් කරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය.

මීගමුවට ප්‍රධානමහේස්ත්‍රාත් ශීලනී පෙරේරා මහත්මිය හමුවේ නඩුව අද කැඳවිණි.  

මෙහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන පිළිබඳ ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට දැන්වුහ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණයට කරුණු දක්වමින් මෙසේ පැවසුහ.

ස්වාමීණි මෙම නඩුවට අදාළ 106 යේ සිට 123 දක්වා සැකකරුවන් නම් කරලා තියෙනව. මනුෂ්‍ය ඝාතන, පොදු දේපලවලට අනර්ථයක් සිදුකිරීම ,හා තුවක්කු ආඥා පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කරනවා. එසේම මෙම නඩුවට අදාළව හඳුනා ගැනීමේ පෙරටු සඳහා සාක්ෂිකරුවන් ලෙස නොපැමිණි අට දෙනකුට එරෙහිව වරෙන්තු නිකුත් කර අත්අඩංගුවට ගැනීමට නියෝගයක් ඉල්ලා සිටිනවා.

ඒ අනුව අධිකරණය එම නියෝගය නිකුත් කළේය.

මෙම නඩුවට අදාළව නම් කර ඇති 53 සිට 67 දක්වා සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා අද දින ආවරණය කර මීගමුව බන්ධනාගාර නිලධාරීන් මගින් අධිකරණය වෙත රැගෙන පැමිණි බවත් ඔවුන්ව හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත් ශීලනි පෙරේරා මහත්මිය විසින් හඳුනා ගැනීමේ පෙරට්ටුව පැවැත්වීම සඳහා වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා මහතා නම් කළේය.

එසේම මෙම නඩුවට අදාළව අත්අඩංගුවට ගැනීමට නොහැකිව සිටි 87 වන සැකකාරියය වන පූජා නමැත්තිය සිය අනියම් සැමියා සමග කටාන ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව සඳහන් කර සිටියේය. එම සැකකාරිය මෙදින අධිකරණයට ඉදිරිපත් කළ බවද ඇයව හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියෝගයක් ඉල්ලා සිටියේය. වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා මහතා ඉදිරියේදී මෙදින හඳුනා ගැනීමේ පෙරෙට්ටුව පවත්වන ලදී.