(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ජාවත්ත පරිශ්‍රයේ  බාහිර පාර්ශවයන් භාවිතා කරන ගොඩනැගිලි දහතුනක් වෙනුවෙන්  රුපියල් කෝටි 7කට  වැඩි  කුලී මුදලක්  අයකර ගැනීම පැහැර හැර ඇතැයි    ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ.

මෙම ගොඩනැගිලි දහ තුන  සඳහා තක්සේරු වාර්තාවට  අනුව කුලී මුදල්  අය කර ගන්නා ලෙස දන්වා තිබූ තිබුණද 2020 වර්ෂය දක්වාම එම මුදල් අයකරගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

එසේම අධිකාරිය විසින් එම ගොඩනැගිලි වෙනුවෙන් විදුලි හා ජල බිල්පත් සඳහා  රුපියල් දෙකෝටි හැත්තෑ  ලක්ෂයක මුදලක්  ගෙවනු ලැබ තිබු නමුත්    එම මුදල්ද  අදාළ පාර්ශව වෙතින් ප්‍රතිපූර්ණය කර ගැනීමට කටයුතු කර නොතිබූ බව  විගණන  නිලධාරීහු පෙන්වා දෙති.

එසේම අධිකාරියට අයත් ගබඩා හතළිස් තුනක් 2019 වර්ෂයේ සිට වී අලෙවි මණ්ඩලය  විසින් භාවිත කරනු ලැබුවද එම ගබඩා වෙනුවෙන්ද  කිසිදු කුලී මුදලක් 2019 වර්ෂයේ දෙසැම්බර් 31වැනිදා වනවිටත් අයකරගෙන නොතිබූ බව  විගණන වාර්තාවේ දැක්වේ.

මේ තොරතුරු සඳහන්වී ඇත්තේ  පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරුණු  ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ 2019 වාර්ෂික වාර්තාවට ඇතුළත් කර ඇති විගණන  වාර්තාවේය.