දෙවැනි කොටස
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධූරයට පත්වීමෙන් පසු සහභාගී වූ පළමුවැනි රූපවාහිනී සාකච්ඡාව හිරු ටීවී ‘රට සහ හෙට‘ වැඩසටහන අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි. එම සම්මුඛ සාකච්ඡාව සුදේව හෙට්ටිආරච්චි මහතා මෙහෙයවීය.
ප්‍ර.
හොඳයි අප පසුගිය මැතිවරණ වේදිකාවේ කථාබහ වෙච්ච ප්‍රධාන කාරණා දෙකක් පිළිබඳව පොඩ්ඩක් අවධානය යොමු කරමු. යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය බොහොම ඉහළින් කථා වුණා. මේ යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න මේ දින කිහිපය තුළ මොනවද අරන් තිබෙන පියවර ?
පි.
අපි පළමුවෙන්ම මාධ්‍යයට කරල තියෙන බලපෑම් ඉවත් කරල තියෙනවා. මම සතියකට වරක් මේ ස්ථානයට ඔබේ කර්තෘවරු ගෙනැල්ලා මොනවද ලියන්නෙ කියල කියන්නෑ. අද නීතිය ක්‍රියාත්මක වෙනවා. හැම එක්කෙනාටම බලපානවා. ඒ එක්කම පාර්ලිමේන්තුවට වගකියන රජයක් තියෙනවා. ඉදිරියට අපි ඉන්නෙ මේ සංශෝධනය ගේන්න. විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට අලුත් ක්‍රමයක් ගේන්න. ඒ වගේම 17 වැනි සංශෝධනය යළිත් ක්‍රියාත්මක කරල ස්වාධීන කොමිසන් පොලිස් කොමිසම, රජයේ සේවා කොමිසම, අධිකරණ කොමිසම, මැතිවරණ කොමිසම ඒ සියල්ලම ක්‍රියාත්මක කරනවා. අද මේ රටේ ජනතාව මේ ජනාධිපතිවරණයෙන් පෙන්නුවේ අපට ප්‍රජතාන්ත්‍රවාදය ඕන. අපිට නිදහස් ඡන්ද අයිතිය ඕන. අන්න ඒ දෙක තමයි එව්වේ පණිවිඩය. ඒවා පිළිඅරගෙන අපි වැඩකටයුතු කරන්න ඕන.
ප්‍ර.
ඔබතුමා මාධ්‍ය ගැන කථා කරපු නිසා තව පොඩි කාරණයක් මාධ්‍ය සම්බන්ධයෙන් මම ප්‍රශ්න කරන්න කැමතියි. මාධ්‍ය නිදහස ගැන කථාබහ කළා. මාධ්‍ය නිදහස පිළිබඳව ඔබේ ආණ්ඩුවේ තිබෙන ප්‍රතිපත්තිය කුමක්ද?
පි.
අපි හැමවෙලේම එක ප්‍රතිපත්තියක හිටියේ මාධ්‍ය නිදහස ගැන. ඒක කිසි දවසක වෙනස් කරලා නැහැ. ඒ මාධ්‍ය නිදහස දුන්නා. මගේ පියා තමයි ලෝකයේ රන් පදක්කම ලබාගත්තේ මේ රටේ මාධ්‍ය නිදහස 1964-1965 ආරක්ෂා කළා කියලා. අපි හැමවෙලේම එතැනට කැපවෙලා තියෙනවා. අනෙක් පැත්ත බලන්න. දැන් මට කී දෙනෙක් මේ මාධ්‍යවලින් බැන්නද? අනාගතයක් නැහැ කිව්වද? මං එක්කෙනෙක් පස්සේ පන්නල තියෙනවාද ? මුකුත් වෙලා නැහැ. අනෙක් අතට අදත් ඉන්නවා මාධ්‍යවේදීන් ඔය ගිය අවුරුදු හතර පහේදී රාජපක්ෂ රෙජීමයේ වැසිකිලිය සුද්ධ කළා. තාමත් ඉන්නවා. පත්තරවල ලියනවා. ඒකත් අපි මුකුත් කරලා නැහැ. ජනතාවයි තීරණය ගන්න ඕන. අන්න එහෙම තමයි මාධ්‍ය නිදහස ගෙනියන්නේ. අපි ආවයි කියල මිනිස්සු අයින්කරන්න කිව්වේ නැහැ. මිනිස්සු වෙනස් කරන්න කිව්වේ නැහැ. ජනතාව දන්නවා කොයි මාධ්‍යයද ජනතාව වෙනුවෙන් හිටියේ. ජනතාව දන්නවා කොයි මාධ්‍යයද ඒ වෙනුවෙන් හිටියේ නැත්තේ කියලා. දැන් අපිට බාරගන්න වෙලා තිබුණේ රූපවාහිනිය, අයිටීඑන් එක, ලේක් හවුස් එක. විශාල ප්‍රශ්නයක් තිබුණා. ඒකෙ විශ්වාස භාවය කැඩිල තිබුණේ. දැන් ඒවා කොහොමද අපි අලුතින් හදාගෙන යන්නේ. ඒක අදාළ අධ්‍යක්ෂක මණ්ඩලවලට බාරදීල තියෙනවා.
ප්‍ර.
අග්‍රාමාත්‍යතුමනි අප තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව ටිකක් කථා කරමු. දැන් මේ පිළිබඳව පසුගිය කාලයේදී පෞද්ගලික මන්ත්‍රී යෝජනා හැටියටත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට මේ පනත ගේන්න උත්සාහ කළා. නමුත් පසුගිය රජයෙන් ඒවා ප්‍රතික්ෂේප වුණා. දැන් තොරතුරු දැනගැනීමේ පනත කාටවත් නොකියා කාටවත් නොපෙන්වා හොර රහසේම ඉදිරිපත් කරන්න යනවා කියන මතයක් සමාජය තුළ තිබෙනවා. එහෙමද?
පි.
මම අගමැති වුණාම 2003 දී තොරතුරු දැනගැනීමේ කෙටුම්පත ඉදිරිපත් කළා. ඔක්කොම පක්ෂ එකඟවුණා. ඒ පක්ෂ එකඟවුනායින් පස්සේ තමයි මේක පාර්ලිමේන්තුවේ අපි සම්මත කරන්න කියලා කිව්වේ. ඒත් පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හැරියා. හැම එක්කෙනාම ප්‍රකාශ කළා ඊළඟ පාර්ලිමේන්තුවේදී මේක සම්මත කරනවා කියලා. ඒත් 2004 න් පස්සේ මේක සම්මත වුණේ නැහැ. ඉතින් මේ පාර්ලිමේන්තුවේදී ආපහු මේ කෙටුම්පත අපි ඉදිරිපත් කළා. ඒ කෙටුම්පතමයි කරු ජයසූරිය මැතිතුමා ඉදිරිපත් කළේ. අපි දවස් 100 වැඩසටහනේදී කිව්වා ඒ කෙටුම්පත අපි සම්මත කරනවා කියලා. කවුරුත් දැක්කෙ නෑ කිව්වොත් ඒක වැරදියි. රහසේ කරනවා කිව්වොත් වැරදියි. ඒ කෙටුම්පත තමයි අපි ගෙනෙන්න බලාපොරොත්තු වුණේ. ඒ පාර ඒ ඒ මාධ්‍යවේදීන් ඒ වගේම මාධ්‍ය අයිතිකරුවන් සියලු දෙනාම එකතුවෙලා ඒකට සංශෝධන එක්ක තව කෙටුම්පතක් අපට ඉදිරිපත් කළා. ඒකත් බාරගත්තා. ඒ කෙටුම්පත සමඟ බ්‍රහස්පතින්දා කරු ජයසූරිය ඇමැතිතුමා මාධ්‍යවේදීන් ගණනාවක් එක්ක සාකච්ඡා කළා. ඒ අදහසුත් අරගෙන තියෙන්නේ. දැන් අපිට තීරණයක් ගන්න වෙනවා. අපි කොහොමද අපි ඉදිරිපත් කළ කෙටුම්පත කොහොමද සංශෝධනය කරන්නේ කියලා. දීර්ඝ කාලයක් සාකච්ඡා කරන්න බැහැ. මේක දින 100 වැඩසටහනේ කොටසක්. ඒ නිසා විජයදාස රාජපක්ෂ ඇමැතිතුමාට බාර දීලා තියෙනවා මේ කෙටුම්පත සකස් කරන්න. ඉතින් ඒ කරුණු ගැන අපි තීරණ අරගෙන ඊට පස්සේ මේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. රහසේ කියන එක වැරදියි. මොකද ඇත්ත වශයෙන්ම දැනගන්න ඕන නම් කරු ජයසූරිය මැතිතුමා ඉදිරිපත් කරපු කෙටුම්පත දිහා බලන්න. ඒ කෙටුම්පතම තමයි නැවත යම් යම් සංශෝධන මත ඉදිරිපත් කරන්නේ.
ප්‍ර.
ඔබේ ආණ්ඩුව පත්වූ දා ඉඳලම ප්‍රතිවාදී දේශපාලන පක්ෂ වලින් එන චෝදනාවක් තමයි මේ ඊළමට නැවත පාර කපනවා කියන කාරණය. ඒ අතරවාරයේදී උතුරු පළාත් සභාවේ යෝජනා සම්මත වෙනවා. යම් යම් කාරණා මතුවෙනවා. කරළියේ කථා බහ වෙනවා. නමුත් ආණ්ඩුව මේ පිළිබඳව..
පි.
ඊළමක් නැහැනේ. මොන ඊළමක්ද. අපේ ජාතික දිනයට ද්‍රවිඩ සන්ධානයේ නායකයොත් ආවා. ඊළම මේ හැමදාම මේක අරගෙන කිව්ව එකක්නේ. දැන් ඒක නැතිවෙලානේ තියෙන්නේ. ඊළම කියන්නේ කවුද? කේපී ගෙනත් තියාගත්ත එකනේ ඊළම කියන්නේ. අපි මේවා කළේ නැහැ. අපි කියන්නේ පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කරනවා. අපි කනගාටු වෙනවා උතුරු පළාත් සභාව ඉදිරිපත් කරපු ඒ යෝජනාව ගැන. ඒක වැරදියි. විශේෂයෙන්ම මං හිතන්නේ ඇතුළේ ඒගොල්ලන්ගෙ ඒ ප්‍රශ්න ඇති. මොකද අපි සාකච්ඡා කරල තිබුණා. සාම්පූර්වල යළි පදිංචි කිරීම විසඳලා තියෙනවා. යාපනයේ යළි පදිංචි කිරීමට ආරක්ෂක මණ්ඩලයෙන් තීරණය කළා අක්කර 1000 ක් තව ලබල දෙනවා කියලා. ඒ වගේම මරණ සහතික ලබාදෙන වැඩසටහනට ගියා. මේ සුමානේ ආපහු කථා කරනවා එල්එල්ආර්සී වාර්තාවේ තව එකඟ වෙන්න පුළුවන් තවත් යෝජනා ක්‍රියාත්මක කරන්න. මම ටීඑන්ඒ එක්කත් කථා කරනවා. අනෙක් පක්ෂ එක්කත් කථා කරනවා. ඉතින් මේ අවස්ථාවේදී ඇයි ඒ යෝජනාව සම්මත කරගත්තේ කියලා අපිට තේරෙන්නෑ. ඒකට එකඟ වෙන්නෑ. ඊළාම් කොහොමද ලබල දෙන්නේ. කොටි ගහල මරන්න ගිය සරත් ෆොන්සේකා ඔතන ඉන්නවා. කොටි ගහල ඇහැ තුවාල වුණු චන්ද්‍රිකා කුමාරතුංග ඉන්නවා. කොටි කීපවතාවක් මරන්න හිටිය මෛත්‍රිපාල සිරිසේන තමයි අද රටේ ජනාධිපති. කොටි තමයි ඉතින් මගේ දේශපාලන ජීවිතයත් 2005 නැති කළේ. මොකක්ද අපි කොටි එක්ක කරන්නේ? කවුද කොටියට සල්ලි දුන්නේ? කවුද 2005 දෙමළ මිනිස්සු ඡන්දෙ දෙන එක නැවැත්තුවේ? ඒක කළේ සන්ධානයයි අපේ හිටපු ජනාධිපතිතුමයි.
ප්‍ර.
ඒ පිළිබඳව සොයා බලන්නට ඔබතුමන්ල කටයුතු කරන්නේ නැද්ද?
පි.
අපි කටයුතු කරන්නෙත් නැහැ. කටයුතු කරන්න ඉතින් සල්ලි ගත්ත මිනිස්සු දැන් මැරිලනේ.
ප්‍ර.
සල්ලි දීපු අය ඉන්නවනේ?
පි.
සල්ලි දීපු අය ඉන්නවා.
ප්‍ර.
ඒ පිළිබඳව සොයා බලන්නට බලාපොරොත්තුවක් නැද්ද?
පි.
ඒගොල්ලො කියල තියෙනවානේ.
ප්‍ර.
තවත් චෝදනාවක් තිබෙනවා මේ ආණ්ඩුව බටහිර බලවේගවලට අනුව ක්‍රියාත්මක වෙනවා කියලා?
පි.
මොකක්ද බටහිර බලවේග? අපි හැමවෙලේම කිව්වා ඡන්දෙදිත් අපි ලෑස්තියි බටහිර එක්ක වැඩකටයුතු කරන්න. අපේ සම්පූර්ණ අපනයන වෙළඳපොළ තියෙන්නේ බටහිරට. යුරෝපයයි ඇමෙරිකාවයි. නැත්නම් අපිට තියෙන්නේ මැදපෙරදිග තේ විකුණන එක විතරයි. චීනය ගත්තත්, ජපානය ගත්තත්, ඉන්දියාව ගත්තත් ඒ ගෙවීම් ශේෂයේ ඒ වෙළඳ ශේෂයේ වාසිය තියෙන්නේ ඒ රටවල්වලට. අපි මේ රටෙන් අපනයනය කරනවා වාගේ දෙගුණයක් තුන් ගුණයක් අපි ආනයනය කරනවා. ආසියාවේ කාගෙවත් අපිට වාසියක් නැහැ. මේ රටවල් එක්ක අපි සටන් කරන්නේ මොනවටද? අපියි ඉස්සෙල්ල කිව්වේ මේ රටේ ඒකාධිපතිවාදයක් තියෙනවා කියලා. ඒගොල්ලො පස්සේ කිව්වේ. මං හිතන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බටහිර එක්ක ඒ සම්බන්ධය හරියට තියාගන්න බැරිවුණා. හැම රටක් එක්කම ගහගත්තා. ඉතින් මේ වෙළඳපොළවලට යන්න බැරිනම් අපි කොහොමද තවත් දියුණු වෙන්නේ. ජීඑස්පී ප්ලස් එක නැතිවුණා. අපි වෙළඳපොළවලට ඇතුළු වෙන්න ඕන. මේ ප්‍රදේශ දෙක විතරයි අපේ වෙළඳපොළ හැටියට තියෙන්නේ.
ප්‍ර.
මා මුලින් කී කාරණාවකට යළි ඔබතුමාගෙ මතකය ගෙනයන්න බලාපොරොත්තුවනවා අගමැතිතුමනි. දැන් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජයග්‍රහණය කරන්න කැපවුණේ එක්සත් ජාතික පක්ෂය. නමුත් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපති පදවියට පත්වූ විගස එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තනතුරට පත්වුණා. නමුත් එතුමාව පරාජය කරන්නට කටයුතු කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ වගේම විපක්ෂ නායකතුමා මෑතකදී සඳහන් කළා මීළඟ මහ මැතිවරණ වේදිකාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු කටයුතු වෙනුවෙන් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා කටයුතු කරනවා. එතුමාගේ නායකත්වය යටතේ තමයි මේ කාරණා ක්‍රියාත්මක වෙන්නේ කියලා. එක්සත් ජාතික පාක්ෂිකයාට යම් ප්‍රශ්නාර්ථයක් මතුවෙන්න පුළුවන් නේද?
පි.
පළමුවෙන්ම එතුමා ජනාධිපති කරන්න කණ්ඩායම් ගණනාවක් පක්ෂ ගණනාවක් ක්‍රියා කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකකොටසක් එළියට ඇවිල්ලා ක්‍රියා කළා. එක කොටසක් ඇතුළෙ ඉඳන් යටින් ක්‍රියා කළා. මම කිව්වේ අපි නාමයෝජනා දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්ට. ඉතින් ඡන්දෙන් පස්සේ අපි බලාපොරොත්තු වුණේ එතුමා පක්ෂය බාරගනියි කියලා. එතුමා පක්ෂය බාරගත්තා. මොකද අපි එකට වැඩකරනවානම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙයි එක්සත් ජාතික පක්ෂෙයි අනෙක් පක්ෂ අතරයි එකඟතාවයක් තියෙන්න ඕන අපි කොහොමද වැඩකටයුතු කරන්නේ කියලා. ඉතින් එතුමා මේකෙ නායකයා නොවුණනම් අපිට ඒ වැඩකටයුත්ත කරන්න බැරි වෙනවා. දැන් පක්ෂ නායකයින් හැටියට අපි සියලු දෙනාම විටින් විට මුණ ගැහෙනවා. ඒ සාකච්ඡාවලට විශේෂයෙන්ම ව්‍යවස්ථා සාකච්ඡාවලට වෙනම නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමාත් ඒ අයත් ඒකට සහභාගිවෙනවා. දැන් මේක නිමල් සිරිපාල ද සිල්වා විපක්ෂ නායකතුමා කියල තියෙන්නේ ඒගොල්ලන්ගේ පාක්ෂිකයන් ධෛර්යමත් කරන්න. ඉතින් ප්‍රශ්නෙ මට නෙමෙයිනේ. ඒ පාක්ෂිකයන් කියන්නේ ඇයි අපි මෙයාට බැනල ද්‍රෝහියා කියල දැන් නායකයා කළේ කියලා. ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් අපේ එකක් නෙමෙයිනේ. මම හිතන්නේ නැහැ අපිට ඒ ගැන වැඩිය හිතන්න ඕන කියලා. මම ඇත්ත වශයෙන්ම හුඟක් සන්තෝෂයි මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භාර ගත්ත නිසා. මොකද ඊළඟ අවුරුදු 5 තුළදී කොහොමද පක්ෂ එකතුව වැඩ කරන්නේ, අපේ දේශපාලන රාමුව කුමක්ද කියලා අපට සාකච්ඡාවෙන් හදාගන්න පුළුවන්. පළවැනි වතාවට ඔක්කොම පක්ෂ ඉන්නවා එකට. එක පැත්තකින් ද්‍රවිඩ සන්ධානය තියෙනවා. අනික ජාතික හෙළ උරුමය තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ තියෙනවා. මුස්ලිම් පක්ෂ තියෙනවා. මේකයි අපි ඉදිරියට ගෙනියන්න ඕන. ඇත්ත වශයෙන් බැලුවොත් ඒ අතින් බැලුවොත් ඔක්කොම ජාතීන් මෙතැන එකතුවෙලා තියෙනවා. අනික් අතින් ගත්තොත් එක්සත් ජාතිකයෝ
ප්‍ර.
ඒ අනුව ඔබතුමා කියන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට ප්‍රශ්නාර්ථයක් මතුකරගන්න අවශ්‍ය නැහැ කියන කාරණය.
පි.
නැහැ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා එක්සත් ජාතික තියෙන්නේ දැන්.
ප්‍ර.
හොඳයි අප තව බොහොම ටික කාලයකින් මහ මැතිවරණයක් කරළියට එනවා. මේ මහ මැතිවරණය පිළිබඳව කථා බහ කරමු. මේක මොන වගේ මහ මැතිවරණයක් වේවිද? මොකද මේ පවතින ක්‍රමවේදයත් එක්ක ජනතාවටනේ ප්‍රශ්නාර්ථයක් මතුවන්නේ. දැන් අපි මොකද කරන්නේ මොකක්ද වෙන්නේ මේ පිළිබඳව අපි මොකද කියන්නේ?
පි.
නෑ ඉතින් ඇත්ත වශයෙන්ම එතනදී අපි දන්න ඡන්ද ක්‍රමයට යන්නේ. ඔය ඡන්ද ක්‍රමය කියන්නේ පක්ෂ අතර තියෙන ඡන්දයක්. ඉතින් මේ පක්ෂ අතර ඉස්සෙල්ලත් තිබුණා දැනුත් තියෙනවා. ඒත් වෙනස ඡන්දෙන් පස්සේ අපි ඔක්කොම එකතුවෙලා ජාතික ආණ්ඩුවක් ක්‍රියාත්මක කරන්න යනවා. හරියට යුරෝපීය සංගමය පාර්ලිමේන්තු ඡන්දවලදී වාගේ. ඉතින් මේ ගැන උදාහරණ තියෙනවා. අත්දැකීම් තියෙනවා. ලංකාවේ ඒ ටික නැහැ. මෙතැනදී අපි විශේෂයෙන් ජනතාවට කියන්නේ කාටද මේකට නායකත්වය දීලා මේකට මග පෙන්වන්න පුළුවන් සුදුසුම පක්ෂය මොකක්ද කියලා ඒ පක්ෂයට ඡන්දෙ දෙන්න.
ප්‍ර.
හොඳයි ඔබතුමා විශ්වාස කරනවාද දැන් මැතිවරණයෙන් පසුවත් නැවතත් ඔය සම්මුතිවාදී දේශපාලනයට පැමිණෙන්න තරම් අපේ දේශපාලනඥයන් පරිණතයි කියලා?
පි.
අපි සම්මුතිවාදී දේශපාලනයට එන්න එකඟවෙලා තියෙනවා. ඒකට අපි අවස්ථාවක් දෙමු. අපි අනික් හැම එකම කරගත්තනේ. අපි ගහගත්තා, මරාගත්තා, බැනගත්තා මේ රටේ ත්‍රස්තවාදය තිබුණා යුද්ධ තිබුණා. දැන් මේක හරි අඩුගානේ අපි අවස්ථාවක් දෙමු මේ රට දියුණු කරල ගන්න. අනාගතයක් හදල ගන්න තරුණ අයට ඒ ගොල්ලන්ට අනාගතයක් දෙන්න ඕනනේ. මට පුළුවන් ඒක ගෙනියන්න ඉදිරියට. මට ඒ ගැන විශ්වාසයක් තියෙනවා.
ප්‍ර.
අගමැතිතුමනි ඔබතුමා සඳහන් කළේ මේ අලුත් ක්‍රමය පිළිබඳව අලුත් පියවර පිළිබඳව ජනතාවට විශ්වාසය තබන්න කියලා කියන කාරණය. නමුත් දැන් 1948 අපි නිදහස ලබා ගත්තායින් පසුවත් ඒ වගේම ඉන් අනතුරුව පැවතිච්ච දේශපාලන වාතාවරණය තුළ යම් යම් අවස්ථාවල විශේෂයෙන්ම අපි ගත්තොත් සුනාමි වැනි අවස්ථාවකදී වුණත් ජනතාවට බලාපොරොත්තුවක් ආවා මේ සියලු දෙනාම එකතුවෙලා එකතැනකට ඇවිල්ලා ජාති ආගම් බේදයෙන් තොරව රටේ අනාගතය වෙනුවෙන් කටයුතු කරයිද කියන කාරණය. නමුත් මේවා සිද්ධ වුණේ නැහැ. අපට ඒ අනුව විශ්වාසය පිළිබඳව ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා?
පි.
නෑ ඒක අපි මේ අත්හදා බැලීමක් දවස් 100 ක් ඇති කළේ. ඒක ඉදිරියට ගෙනියන්න. අවුරුදු 30 ක් මේ රටේ යුද්ධ තිබුණා. උතුරෙයි දකුණෙයි. හරි දුකක් අපේ ජනතාව වින්දේ. ඊට ඉස්සෙල්ලා අපි බලාපොරොත්තුවක් තිබුණා 77 න් පස්සේ විශාල දියුණුවක් ඇතිවෙයි කියලා. ඒ දියුණුව ලබාගන්න බැරිවුණා. ගිය අවුරුදු 4-5 නරක හීනයක්. යුද්දෙන් පස්සේ අපිට අලුත් ලංකාවක් බිහිවෙයි කියලා හිතපු ජනතාව දැක්කේ ඒ වෙනුවට පවුල් වාදයයි. ඒකාධිපතිවාදයයි. දූෂණයයි. නිදහස් අධ්‍යාපනය නැති වෙන එක. නිදහස් සෞඛ්‍ය නැතිවෙන එක. නීතියේ ආධිපත්‍ය නැතිවෙන එක. තමන්ගෙ අනාගතේ නැතිවෙන එක. ඉතින් මේ ඡන්දෙදි ජනතාව ඡන්දෙ පාවිච්චි කළේ. මේ ඡන්දෙ ඉස්සෙල්ලා ඡන්ද අපි පක්ෂ හැටියට බැහැලා වැඩකරලා නායකත්වය දුන්නේ ජනතාව එක්ක. අන්තිම දවස් 10 දී අපිට පෙනුණා ජනතාව ඉදිරියට ඇවිල්ලා හිටියා. සෝෂල් මීඩියා එකෙන් විශාල සටනක් ගෙනිච්චා. ඒ තරුණ අයගේ අදහස්. අපිට මේ වෙනස ඕන. ඒ බලාපොරොත්තුවක් ඇතිකළා අපි ඔක්කොම එකතුවුණාම මේක ඉදිරියට ගෙනියන්න පුළුවන් කියලා. අන්න ඒ බලාපොරොත්තු අපි ක්‍රියාත්මක කරන්න ඕන. ඒක කරනවානම් දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕන. මේ ගජ මිතුරන්ගේ ධනවාදය නැති කරලා ජනතාවට භුක්ති විඳින හැම එක්කෙනාටම හොඳ ශක්තිමත් මධ්‍යම පන්තියක් ඇති කරලා එතැනට ඇතුළු වෙන්න හැම එක්කෙනාටම අවස්ථාවක් තියෙන හොඳ තරඟකාරී විවෘත ආර්ථිකයක් අපි ඇති කරගන්න තියෙනවා. ඉතින් මේවා කරන්න අපේ ආකල්ප වෙනස් කරන්න ඕන. ඒක දැනගෙන අපි මෙතැනට යන්න ඕන අපි හදිසියේ සුනාමියට එකතුවුණා වාගෙ නෙමෙයි. මේ ගැන අපි හුඟක් කථා කළා. මේ පක්ෂවල නායකයින් අපි අතර. අපි තමයි ගහගත්ත මිනිස්සු. අපි තමයි හැප්පුණ මිනිස්සු. දැන් එතැනින් ඉදිරියට යන්න ඕන. දැන් තව මොකක්ද මට තියෙන්නේ මගේ අනාගතේ? හැමදාම මෙතැන ඉඳගෙන ඉන්න නෙමෙයිනේ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ඒක නෑනෙ හැමදාම. අපට පුළුවන්නම් කියන්න මේ රට දැන් ශක්තිමත් රටක්. දකුණු ආසියාවේ හොඳම රට. ලෝකයා ආපහු අපේ දිහා බලාගෙන ඉන්නවනම් ඩී.ඇස්.සේනානායක මැතිතුමාගෙ කාලේ වාගේ. අන්න එහෙනම් මං හිතන්නේ අපි සාර්ථක වෙලා තියෙනවා. මේක නරඹන මේකට ඇහුම්කන් දෙන ඒ සියලුදෙනාම හිතනවා නම් අපිට පුළුවන් මේ අනුව ඉදිරියට යන්න කියලා. ඒකයි අපි මේ ඡන්දෙදි ගෙනියන්නේ. ජනතාවට කියන්නේ මොකක්ද කරන්න ඕන. අලුත් එකක් තීරණය කරන්න. පරණ දේශපාලනයට යනවාද? සමහර අය කථා කරනවා පරණ දේශපාලනය ඕන කියලා. නැත්නම් අලුත් එකකට යනවාද? ඔබේ අනාගතය කාටද බාරදෙන්නේ. කාටද ඒක ගෙනියන්න පුළුවන්. අන්න ඒකයි අපි කියන්නේ. දැන් අලුත් ලංකාව මට හදන්න ඕන. මම දන්නවා අපිට තියෙන එකම සම්පත මිනිස් සම්පත. ඒ සම්පත හරියට යොදවනවා නම් කිසිම බයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ ඊළඟ දශකය අවසන් වෙන්න ඉස්සෙල්ලා ලංකාව දිහා බලල ජනතාව ලෝකෙ පුදුම වෙනවා. අපිට මේක කරන්න පුළුවන්. අපි උදාහරණයක් දීලා ඒ නායකත්වය දීලා ඒ ජනතාවගේ ඉල්ලීමට අපි ඇහුම්කන් දෙන්න ඕන.
ස්තූතියි!

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ අපට ලැබුනාවූ හොදම පරිනත නායකයා ඔබයි අපේ පිනට ලැබුනා වූ ඔබට ජය.(හේ)
ඔබ පතන ලංකාව ගෙඩ නැඟිමට හැකිදැයි, ඊට ඉඩක් ඇතිදැයි නොදනිමි. ඔබේ උත්සහයට මුළු හදින් සුපබ පතමි.(හේ)
ඉතා හොඳ අදහස් ටිකක්. රට බෙදනවා කියලා කියන කට්ටිය කියවලා තේරුන් ගත්තොත් හොදයි. (හේ)
හොඳ අදහස්. (හේ)
කව්වොත් කියන්නේ මෙහෙම කතාවක්ම තමයි.(දිල්)
අපේ රටට අවශ්‍ය බුද්ධිමත් නායකයෝ මිසක් චන්ඩි නොවෙයි. මාධ්‍ය කටයුතු කරන්න ඕනේ බුද්ධිමත් නායකයෝ ඉදිරියට එනවිදියට මිසක් චණ්ඩින්ට ආවඩන්න නෙවෙයි. මේක රටටත් තේරුම් කරදීමට මාධ්‍ය කටයුතු කරන්න ඕනේ. (බ)
ජයවේවා රනිල් අගමැතිතුමනි.බොරු බේගල් නැතිව රට වෙනුවෙන් හිතන ඔය කතා සියලුම අයට තේරෙන්න ,හැගෙන්න ඕන (බ)
ලිපිය මුල් ටික කියවනකොටම රනිල් බොරු විදින බව පේනවා කොටියට රට ලියලා පාවලා දුන්නේ නැහැ කියලද ඔබ කියන්නේ. යූඇන්පී අාණ්ධුව නිසා තමයි කොටියා නැගිට්ටේ අඳබාල යූඇන්පී කාරයෝ රට විනාශ කළාට වගකියන්නම ඕනේ 88.89 ජේවීපී කොල්ලෝ කෙල්ලෝ මැරුවේ නැහැ කියලා ඔබට කියන්න පුලුවන්ද? (බ)
ඕක තමයි කියන්නේ අධ්‍යාපනය , බුද්ධිය සහ අද්දැකීම වෙනස් දේවල්.(හේ)
මේ කියන හැම දේම ඇත්ත.(හේ)
බණ්ඩාර ඔය කියන දේවල් හරි වුනාට ගොඩක් අයට ඕවා තේරෙන්නේ නෑ , එක නිසා ලියලා හෝ කියලා වැඩක් නෑ, අපේ ගොඩක් අයට ඕනේ රට හෙන ගහලා හරි කමක් නැ කන්න බොන්න අඩුවට ලැබේ නම් (හේ)
කිසිම වගකීමකින් නෙමේ කතා කරන්නේ කියල හිතෙනවා (බ)
පරිනත දේශපාලනයේ අත්දැකීම් අනුව ඉදිරි අනාගතය තේරුම් ගත හැකියි. කාගේ අතෙත් වැරදි ඇති. ඒවා නිවැරදි කරගෙන ඉදිරියට යන්න උත්සහ කරන මේ මොහොතේ අපි කවුරුත් සහයෝගය දැක්විය යුතුයි. (බ)
ඉසුරන්දි, මේ පරිනත නායකයාට 2001 දි අවස්ථාව අහිමි වීම අපේ අවාසනාවක් නේද ?(දිල්)
පරිනතේ තරම තේරුම් ගන්න තිබුණා 2002 ගහපු ගිවිසුමත් එක්ක මෙයා දිගටම බලේ හිටියනම්..එහෙනම් අද තියෙන්නේ රටවල් දෙකක්.(දිල්)
ඔබගේ දැනුමට හිස නම ආචාර කරමි.(හේ)
බණ්ඩාර මහතා ඔබට හැකි නම් 2002 ගිවිසුමේ තිබුණු දේ කියවල බලන්න. එ්කේ කොතනවත් රට කොටියට දීලා නැහැ. ඒ අවස්තාවේ හිටිය තැන්වලම ගිවිසුම අවසන් වන තුරු රැදී සිටීමට එකග වීමක් පමණි. කරුණා අම්මාන් මේ කාලයේදී වෙන් වීම මහින්දට ආශිර්වාදයක් වුනා. ඇයි වෛරයෙන් බලන්නේ? (නදී)
ජනාදිපතිට පින්සිද්ද වෙන්න මෙයා අගමැතිවුණා. ඒකත් දැන් හෙල්ලෙන දතක් වගේ. ව්‍යවස්ථාවේ හැටියට බහුතරයක් මන්ත්‍රීවරු ඉන්න පැත්තටයි අගමැතිකම, ඒත් මේ මොකද වෙලා තියෙන්නේ? (නදී)
ප්‍රභාකරන්ට එයාගේ සබ්මැරීන් ටික මුහුදට දාගන්න තව මාස 3 ක් තිබුනා නම් ඔය කියන ආනයන, අපනයන කරන හැටි බලන්න තිබුනා (නදී)
මුලින්ම ඔබ කියන්න,තිබුන ජනාදිපතිවරනයෙන් ඔබ අගමැති උන එක සදාචාරාත්මකද? (නදී)
බණ්ඩාර සහ අසංග යන දෙදෙනා තවමත් මහින්ද නැවතත් එනු ඇතැයි බලා සිටින දෙදෙනෙකු බව පෙනේ. මහින්දට මේ රටේ හොදම නායකයා වෙන්න තිබුණ අවස්ථාව අතහැර ලංකා ඉතිහාසයේ දූෂිතම නායකයා බවට පත්වුණා. දැන් මේ රට සමගියෙන් ඉදිරියට ගෙනියන්න මේ අදහස් ගොඩක් හොදයි. ජවිපෙත් සක්‍රියව මේකට දායක කරගන්නේ නම් තවත් හොදයි. (නදී)
සරත් ගුරුසිංහ, චන්ඩි නායකයා හිටියේ නැතිනම් ප්‍රභාකරන් තවම ජීවතුන් අතර. බටලන්ද වදකාගාරයක් පවත්වාගෙන ගියේ කව්ද එතකොට? (නදී)
හිරු එකෙන් ද සාකච්ඡාව කළේ , හිරු අයිති දුමින්ද සිල්වාට . නේද (අ)
මේ නායකයාව අදුර ගන්න සමහරක් අයට ගොඩක් කල් යාවි
නායකයෙක්ව අදුනගන්න එක ලේසි වැඩක් නෙවේ. අවුරුදු පනහක්ම අපිට බැරි වුණා. දෙනවත් බුද්ධිමත්ව හිතමු.(අ)
මේවගේ පරිනත නායකයෙක් අපිට වැඩි ද මන්දා (අ)
රෝහිනි ,සනත්, ඒ ගිවිසුම් ගහපු කාලේ ඔයා හිටියේ බඹ ලෝකෙද ? ඕමන්තේ මුර පොළ ඇතුලු කීයක් තැන ඉවත් කළාද..කොටි කොච්චර සන්නද්ද වුණාද...උගත් කම පොතට විටරක් සීමා වෙලා හරියන්නේ නැහැ. නායකයෙක්ට මනාපෞරුෂත්වයක් තියෙන්න ඕන ... යුද්ධය ඉවර කරපු මහින්ද මෙතිතුමා හරියට මේගොල්ලන්ට පෙන්නේ...රට අගාදයට එලා දාපු කෙනෙක් විදියටනේ...මැරිල ඉපදුන විදියට අදහස් දාන එපා... (අ)
ඉන්දික , බටලන්ද හොයන්න තවම බැරිවුනේ මොකද ? (අ)
ඉන්දික ඔබ හරි මල්ලි ඇත්ත දැන් අය දන්නේ නැහැ (අ)
මේ රට විනාශ කලේ කව්ද කියල අද සාක්ෂි එක්ක හෙළිවෙද්දී , 88, 89 ගැන කියවන මෝඩ මිනිස්සු තාමත් ඉන්නවනේ. සමහර මිනිස්සුන්ට ඕන වෙලා තියෙන්නේ පක්ෂ බෙදිලා මරාගන්න මිසක් යහපාලනයෙන් පිරි නිතිය සාමය රජයන රටක් එකට ගොඩනගන්න නෙමේ. (අ)
තුෂාර මහත්තයෝ..එහෙම ඉන්නද මිනිස්සු රජයක් පත් කරන්නේ..ඔබල ඕන විදියකට ඔබලගේ පැත්තේ හිටින්න .අපි අපේ පැත්තේ පාඩුවේ ඉන්නම්...ඒක ද විය යුත්තේ..ත්‍රස්තවාදී සංවිධානයක් ඉදිරිපිට දනින් වැටෙන්න ඔවුන් සමග ගිවිසුම් ගහල පාලන ප්‍රදේශ වෙන් කරන්න නෙමෙයි මේ රටේ ත්‍රස්තවාදයෙන් බැට කාපු ජනතාව තමන්ගේ පාලනය වගකීම රජයකට බාර දුන්නේ.හදවතට තට්ටු කරලා අහන්න..එදා දිගටම ඒ ක්‍රියාවලිය ගියා නම් අද අපි කොහෙද ඉන්නේ කියල..එක්කෝ බංකරයක් ඇතුලේ..නැත්නම් වල පල්ලේ. (අ)
සිංහල අපිට සටන් විරාමයත්,මිලනියම් සිටි සිද්දියත් මතකි. අපි පරදවුයේ විදායක ව්‍යවස්ථාව සහ යුද ජයෙන් පසු පවුල්වාදී එකදිපති පාලනයක ගිය අයෙකු මිස ශ්‍රීනිපය නොවේ. ඔබතුම දිනවිමක් කළේද නැත. අසාද් සාලි ඇනි අය බෞද්ද කොඩියටත් ජාති වාදය කියන්නේ නම් එවැනි යට මේ රටේ වැඩියෙන්ම සිටින්නේ සිංහල බෞද්දයන් බව වැටහ දෙන්න. (අ)
ඔබ තුමාට මේක කරන්න පුළුවන්. නමුත් මේ හොරු රැල එළියේ තියාගෙන කරන්න ගියොත් වෙන්නේ ඔබටත් සොදුරු හීනයක් දකින්න පමණි. (හේ)
ඔබ තුමාට මේක කරන්න පුළුවන්. (දිල්)
කොටිය නැති කලේ මහින්ද ජනාධිපති බව මුලු ලෝකයම දන්නා කරුණකි . එහෙත් රනිල් නැති කලේ මහින්ද ජනාධිපති බව කීම මුසාවකි . (අ)
මේ කතාව සැම දෙනාම ඇසිය යුතුයි . රටට අවශ්‍ය දැක්ම එයයි.(හේ)
තවමත් බුද්ධියට අමතන මිනිස්සු අඩු බව මේ සංවාදයෙන්ම පේනවා. ඈත්ත තිත්තයි, නියම බේත් වගෙ. අමාරුවෙන් හරි දරා ගත්තොත් ලේඩේ සනීප වෙයි. (ර)