(සුජිත් හේවාජුලිගේ සහ   අංජුල මහික වීරරත්න)

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධූරය බාරගැනීම සඳහා මන්ත්‍රී ධූරයෙන් ඉවත්වී ලබන 29 වැනිදා  එරට බලා  පිටත්ව යන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවැසීය.

තමා එහි යන්නේ රටට සේවයක් කිරීමට බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ජනාධිපති, අගමැති කාර්යාලය  ඇතුළු ආයතන 25 ක වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිධූරය බාර ගන්නැයි  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තමාගෙන් ඉල්ලීමක් කළ බවත්  තමා එම ඉල්ලීම  බාරගත් බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඇමරිකාව සමග  සුහදත්වයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් බව පැවසූ සමරසිංහ මහතා මෙරට කරන වැඩ කොටස  ඒ අය දැනුවත් කළ  යුතු බවද  සඳහන් කළේය.

තමා පාර්ලිමේන්තුවට  පත්කළ  කළුතර  දිස්ත්‍රික්කයේ ජනතාවට ස්තූතිවන්ත වන බවද සඳහන් කළේය

තමා ඉවත් වන්නේ මේ පාර්ලිමේන්තුවට එක දිගට වසර විසි හතක් සේවය කර බවද  ඔහු කිවේය.

තමාගේ දේශපාලන ජීවිතය වසර තිස් තුනක් බවත්  පළාත් සභාවේ වසර හයක් කටයුතු කළ බවත් මහින්ද සමරසිංහ මහතා පැවැසීය.

ඇමැතිවරයකු ලෙසද කාලයක් කටයුතු කළ බව ඔහු කීවේය.

තමා දේශපාලනයෙන් කිසිවිටෙකත් ඉවත් නොවන බවත්  මවුබිමට යළි පැමිණ දේශපාලනය කිරීමට  බලාපොරොත්තු වන බවත්  හෙතෙම පැවසුවේය.

කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට ඉදිරියටත් නායකත්වය ලබාදෙන බවද  මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.